Monday, January 7, 2013

ගැබිණි සායනයට පැමිණි මව්වරුන්ට හැරී යන්නට වෙයි

 2013 ජනවාරි 07  04:20 p.m
Pregnatහබරණ ප්‍රාදේශීය රෝහලේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් නොමැති බැවින් මාතෘ සායනයට පැමිණි ගැබිණි මව්වරුන්ට අද (07) ආපසු හැරී යාමට සිදු විය. උදයේම පැමිණි මෙම මව්වරුන් පරික්ෂා කිරීම සඳහා දහවල් 12 වනතුරු වෛද්‍යවරයෙක් පැමිණියේ නැත. ඒ නිසා මෙම මවුවරුන් දැඩි වෙහෙසින් යුතුව රෝහල් පරිපාලනයට දෝෂාරෝපනය කරන්නට වූහ. මේ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙක් මීට පෙර සිටි අතර එක් වෛද්‍යවරියක් ප්‍රසූත නිවාඩු ලබා ගෙන තිබේ. අනික් වෛද්‍යවරයා විශේෂ ස්ථාන මාරුවක් ලබා ගොස් ඇත. එක් වෛද්‍යවරියක් පමණක් රෝහලේ සේවයේ නිරත වන අතර ඉකුත් දෙසැම්බර් 07 වැනිදා සිට ඇයට දිවා රාත්‍රී අඛණ්ඩ සේවාවක් කරන්නට සිදු වී තිබේ. හදිසි, නේවාසික සහ බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර ලබා දීම මෙම වෛද්‍ය වරිය අතින් සිදු වේ. අද තිබුණ සායනයට ඉහළ කළමනාකාරිත්වයෙන් සහන සේවා වෛද්‍ය වරයෙක් යොදවන ලෙසට ඉල්ලා ඇතත් එම වෛද්‍යවරයාගේ නොපැමිණීම නිසා මෙම කණගාටුදායක තත්වයට මුහුණ දෙන්නට ගැබිණි මව්වරුන්නට සිදු විය. මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් විමසූ විට එහි උසස් නිලධාරියෙක් පැවසුවේ දිස්ත්‍රික්කයේ වෛද්‍ය වරුන් හිඟයක් පවතින බවත් වෛද්‍ය වරුන් ලබා දෙන ලෙස කොළඹ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා තිබෙන අතර දැනට දෙදෙනකු හබරණ රෝහලට අනුයුක්ත කර ඇතත් ඔවුන් සේවයට වාර්තා කර නොමැති කම නිසා මෙම තත්වයට හේතුව බව එම නිලධාරියා පැවසීය. කෙසේ වෙතත් හබරාදූව රෝහලේ දැන් පවතින තත්වයට අතිරේක වෛද්‍යවරයෙකු අද දිනයේ යෙදවීමට නොහැකි වූ බවත් හෙතෙම කීය. කෙසේ වෙතත් හෙට (08) දිනයේ සිට කැකිරාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයෙකු තාවකාලිකව අනුයුක්ත කිරීමට පියවර ගන්නා බවත් මෙම නිලධාරියා සඳහන් කළේය.

1 comment:

Unknown said...

අනේ අපොයි........