Thursday, November 29, 2012

අගරු චෙක් පතක් දී මාරුවූ ග්‍රහයා පොලීසියට කොටු

රුපියල් ලක්ෂ හතර හමාරක අගරු චෙක්පතක් පුද්ගලයෙකුට ලබාදී වංචාකළ පුද්ගලයෙක් බලංගොඩ පොලීසිය මගින්(28)අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බළන්ගොඩ ප්‍රදේශයේ අයෙකි. මෙම පුද්ගලයා ගනුදෙනු කාර  කේ.එච්. පියසිරිට ලබාදුන් චෙක්පත බැංකු සැසඳුම් විස්තරය හා ගැලපීමේදී එය අගරුවූ චෙක්පතක් ලෙස සටහන්ව ඇත. එසේම එම ගිණුම 2010 දී වසාදමන ලද්දක් බවද අනාවරණය වී තිබේ.

කොටකෙතන ඝාතන පිටුපස ඉඩම් මංකොල්ල කරුවන් ????

කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ දිගින් දිගටම සිදුවූ ඝාතන රැල්ල පිටුපස ඉඩම් මංකොල්ල කරුවන් පිරිසක් සිටිනවා යැයි සැකයක් මතුව තිබෙන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි. ඇමතිවරයා මේ බව ප්‍රකාශකළේ කහවත්ත, කොටකෙතනට ආසන්න දිවුල්වල හිදුර දොඩම්පිටිය යන ගම්මාන වලට විදුලිය ලබාදීමේ වැඩ ආරම්භ කිරීමට ඊයේ (28) පැවති ජන හමුවේදීය.

දුව කෙලෙසූ පියා හතලිස් පස්වසක් දඟගෙට

බීමත්ව පැමිණි පුද්ගලයෙකු සිය දියණියට මරණ තර්ජනය කොට ලිංගික හිංසා කළ බවට වූ චෝදනාවකට මහාධිකරණයේ දීර්ඝ නඩු විභාගයකින් වරදකරු වීමෙන්(28 )බරපතල වැඩ ඇතිව වසර හතලිස් පහක සිර දඩුවම් නියම වීය.ඒ එක් චෝදනාවකට වසර 15  බැගින් චෝදනා 3කටය.සිර දඩුවම් නියම වූයේ දික්වැල්ල මුතුකුමාරණ ලන්දගේ දයාරත්න(55)නැමති අයෙකුටය.

6දෙනෙක්ට රාජකාරිය මාරු වෙලා, කැරැම් ගහනවා මන්ත්‍රීගේ අතටම මාට්ටු

රාජකාරි වේලාවේදී ආපන ශාලාවක් තුළ කැරම් ක්‍රීඩා කරමින් සිටි ඕපනායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන රජයේ නිලධාරින් පිරිසක් රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ටී.රංජිත් ද සොයිසා මහතාගේ අතටම හසුවීමේ සිද්ධියක් ඉකුත් (26) දින ඕපනායක ප්‍රදේශයෙන් වාර්තා වේ.

රක්ෂිතයේ නිධන් සෙවූ 3ක් අල්ලයි

අරලගන්විල, දිඹුලාගල ආරණ්‍ය රක්ෂිත ප්‍රදේශයේ පුරාවස්තු සොරා ගැනීමේ අදහසින් අනවසර කැනීම් කටයුතු කළ සැකකරුවන් තිදෙනෙකු සමඟ පුරාවස්තු බවට සැකකෙරෙන ග්‍රෑම් 930 ක් බර රන් පැහැයෙන් යුත් කුඩා ලෝහ කෑලි 313 ක් අරලගන්විල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඇඟළුම් සේවිකාව එල්ලී මැරෙයි

ඉංගිරිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කරන තරුණියක් ඇය නවාතැන්ගෙන සිටි නිවසේ දී සියදිවි නසාගන ඇත. මිය ගොස් ඇත්තේ සිට ඉංගිරිය පාදුක්ක පාරේ, ඇඟළුම් කම්හලක සේවය කරමින් සිටි අයගම තේ ජනපදයේ පදිංචි ලියන ආරච්චිගේ ශිරෝමි නිරෝශිමා නම් වූ වයස අවු 33 ක් වූ අවිවාහක තරුණියකි. මෙම තරුණිය ඊයේ උදෑසන (28) නිවසේ කරාමයෙන් දිය නෑ බවත්, වැඩට යන්න සූදානම් වනවා දැයි ඇසූ විට ‘ඔව් යැයි’ පිළිතුරු දුන් බව ගෙහිමි කාන්තාව වන ඉන්ද්‍රා ගාල්ලගේ මහත්මිය පවසා ඇත. ඇය කිසිම හිත් වේදනාවකින් සිටි බව තමාට ඒත්තු නොගිය බවද ගෙහිමි කාන්තාව පවසා ඇත.

පාර්ලිමේන්තුවේදී පරාජය කිරීමට නොහැකි බොහෝ දේ ඉන් පිටතදී පරාජය කිරීමට පුළුවන්

වමේ ව්‍යාපාරයක වෘත්තීය සමිතියක් ලෙසට සිය වෘත්තීය සමිති මධ්‍යස්ථානයට පාර්ලිමේන්තුව උත්තරීතර නැති බවත් පාර්ලිමේන්තුවේ පරද්දන්ට නොහැකි බොහෝ දේ එළියේ පරද්දන්ට හැකි බවත් එබැවින් රටට ජනතාවට සංවිධානාත්මක ජන බලවේගයක් මේ මොහොතේ අත්‍යවශ්‍යව ඇතැයි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල් කාන්ත මහතා ප්‍රකාශ කළේය

ශ්‍රී ලාංකික තරුණයෙක් ඉතාලියේදී එල්ලී මැරෙයි

ඉතාලියේ නාපොලි නගරයේදී ශ්‍රීලාංකික තරුණයෙක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ. අද(29)උදේ පාන්දර3.00ට පමණ මියගොස් ඇත්තේ වෙන්නප්පුවේ පදිංචි සුමිත්ප්‍රනාන්දු නැමති 34 හැවිරිදි දෙදරු පියෙකි

Wednesday, November 28, 2012

බස් වර්ජනය අවසන් : හෙට සිට යළි ධාවනයට

බස්නාහිර පළාත් සභාවේ ප්‍රවාහන ඇමැති උපාලි කොඩිකාර මහතා සමග අද (28) සවස පැවැති සාකච්ජාවෙන් පසු බස් වර්ජනය නවතා දමන්නට සමස්ත ලංකා පෞද්ගලික බස්රථ සංගමය හා සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලය තීරණය කළේය. නීතිවි‍රෝධි ආකාරයට ලබා දී තිබෙන මාර්ග බලපත්‍ර අවලංගු කරන්නට පියවර ගන්නා බවට ඇමැති උපාලි කොඩිකාර මහතා පොරොන්දු වූ බව සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. හෙට (29) උදයේ සිට සුපුරුදු පරිදි බස් ධාවනය වර්ජනය පැවැති සියලුම පළාත්වල ආරම්භ වන බවත් ඒ මහතා සඳහන් කළේය. 

එජාප මන්ත්‍රීන් 16කට මහ සමුළුව තහනම්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා සම්මේලනයට සහභාගි වීම සඳහා මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට ආරාධනා නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව මේ වන විට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තහනම් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුටත්, පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනකුට සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 11 දෙනකුටත්, මේ ජාතික මහා සම්මේලනය සඳහා ආරාධනා නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි  එහි මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය. ඒ මහතා මේ බැව් සඳහන් කළේ කොළඹ (27) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එමෙන්ම සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අයට සහ ඒ ඒ මැතිවරණවලදී ආණ්ඩුවේ දේශපාලන වේදිකාවට ගොඩ වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ටද මේ මහා සම්මේලනය සඳහා ආරාධනා නොකරන බවද මහ ‍ලේකම්වරයා පැවැසීය.
නිල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පමණක් පැවැත්වෙන මේ මහා ජාතික සම්මේලනයට සහභාගි වන සියල්ලන් සිය නිල අවසර පත්‍රය පැළැඳ ගෙන සිටිය යුතු අතර එම නිල අවසර පත්‍රය නොමැති කිසිවෙකුට මහා සම්මේලනයට සහභාගිවීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, අදාළ නිල නියෝජිතයින් තහවුරු කර ගැනීම සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රමයක්ද යොදා තිබෙන බවත්, තිස්ස අත්තනායක මහතා කීය.

යාල්දේවි දුම්රියේ ත්‍රිරෝද රිය ගැටී හත් දෙනෙකු මරුමුවට

අද (28) උදේ 9.40 ට පමණ වව්නියාව දක්වා ධාවනය වෙමින් තිබූ යාල්දේවී නගරාන්තර දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. මෙම අනතුර සිදු වී ඇත්තේ අඹන්පොළ, ගැටව, කිරිමැටියාව දුම්රිය හරස් මාර්ගයේදී ය. මෙම ත්‍රිරෝද රියේ ගමන් කර ඇත්තේ එකම පවුලේ ඥාතීන් පිරිසකි. ඔවුන් බියගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. ත්‍රිරෝද රියේ හිමිකරු වන ආසිරි විජේකෝන් (34) නැමැත්තා එය පදවා ඇත. ඔහු ද බියගම උපන් කිරිමැටි‍යාවේ පදිංචිකරුවෙකි. ආසිරි සහ ඔහුගේ බිරිඳ වන තමාරා මුතු බණ්ඩාරනායක (28) ද මෙම අනතුරින් මියගොස් ති‍බේ. බියගම ඥාතීන් ආසිරිගේ නිවසට පැමිණ සිටියදී ඔවුන් ද කැටුව කිසියම් ගමනක් යද්දී අද උදේ මෙම බිහිසුණු අනතුරු සිදු වී ඇත. මියගිය අය අතරේ මාස 08ක් වයසැති පිරිමි දරුවෙක් සහ අවුරුදු 01ක් වයසැති ගැහැණු දරුවෙකු ද වෙති. තවම හඳුනා නොගත් කාන්තාවන් තිදෙනෙකුගේ සිරුරු ද තිබේ. ත්‍රිවිලරය දුම්රියේ ගැටී මීටර් 300ක් පමණ ඈතට ඇදී ගොස් ඇත. තැලී පොඩි වී ගිය ත්‍රිරෝද රියේ මාස 08 සහ අවුරුදු 01 දරුවන් දෙදෙනා සමග තවත් දෙදෙනෙක් සිර වී සිටිනු ප්‍රදේශවාසීන් දැක තිබේ. එහිදී  ඔවුන් පිටතට ගනිද්දී පිරිමි දරුවා ජීවතුන් අතර සිටිනු බව පෙනී ගොස් ඇත. වහාම එම දරුවා ඇතුළු සෙසු පිරිස අඹන්පොළ රජයේ රෝහල වෙත යවන්නට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත. ත්‍රිරෝද රියේ ගමන්ගත් හත් දෙනාම මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ.බරපතල තුවාල ලැබු කාන්තාවක් කුරුණැගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපට පොල් ගසමින් උද්ඝෝෂණයක්

කොළඹ අලුත්කඬේ අධිකරණ සංකීර්ණයේ පිහිටි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැති අතර ගෝල්ඩන් කී ගණුදෙනුකරුවෝ මේ උද්ඝෝෂනයට එක්ව සිටියහ. අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගය ට විසදුමක් ලබා දී දෝෂාභියෝගය නිම වන තුරු ගොල්ඩන් කී නඩුව කල්තබන ලෙස ඉල්ලමින් තැන්පත්කරුවන් 1000 ක් පමණ ශ්‍රේෂ්ඨාධිකරණය අභියස මේ විරෝධතාවය අද (28) පවත්වනු ලැබීය. කොළඹ, නුවර, දඹුල්ල ,කුරුණෑගල, මීගමුව, මාතර, හලාවත ආදී ප්‍රදේශවලින් පැමිණි ‍තැන්පත්කරුවෝ විරෝධතා පෙළපාලියෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධාන දොරටුව අභියස පොල් ගසන ලදී. ‘ අගවිනිසුරු ලලිත් කොතලාවල සම්බන්ධය භංග වේවා! තැන්පත් මුදල් ලබාදියවු, ආදී විරෝධතා පුවරු රැගෙන පිරිස විරෝධතා කළහ.

මන්තර පොත් අරන් කුලී වැඩක් සොයා ඇවිත්

මන්ත්‍ර ගුරුකම් සඳහා යොදා ගන්නා ඉපැරණි මන්තර පොත් හා පූජා භාණ්ඩ කිහිපයක් බෑග් වල දමාගෙන හොරොව්පතාන ප්‍රදේශයේ සැරිසැරූ තරුණයින් සිව් දෙනෙකු (27)හොරොව්පතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.හොරොව්පතාන සුහදගම ප්‍රදේශයේ විහාරයක තිබෙන නිධානයක් ගොඩ ගන්නට මොවුන් එන්නට ඇතැයි පොලිසිය සැකකරයි. තරුණයින් පවසන්නේ කුලී වැඩක් සොයා ගෙන තමන් එහි ආ බවයි.ඔවුන් මිහින්තලය,කන්නටිට්ටිය හ ගලේවෙල ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.

රංමුදු ඇල්ලේ දෙදෙනෙක් සැඟවේ

තුම්මෝදර රන්මුදුඅල්ලේ දී ‍ඊයේ (27) සවස දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ කැළණිය දළුගම ප්‍රදේශයේ පදිංචි දිලිප් කුමාර (28) සහ ගලහිටියා සියඹලාපේ පදිංචි බුද්ධික ඉන්‍ද්‍රජිත් යන දෙදෙනාය. ඊයේ (27) සවස ඇති වූ ධාරාණිපාත වර්ෂාව සමඟ ආ විශාල ජල කඳ හේතුවෙන් මිය ගිය අයගේ දේහයන් මෙතෙක් සොයා ගැනීමට නොහැකි වූ බව හංවැල්ල පොලිසිය පවසයි. හංවැල්ල පොලිසිය සිද්ධිය පිළිබඳව පරික්ෂණ පවත්වයි.

කැපවීම නිසා රකුසා පසුබසී

දෙවිනුවර මහජන බැංකු ශාඛාවේ අද (28) ගින්නෙන් පරිගනක කාමරයට අලාභහානි සිදුවී ඇති අතර බැංකු නිලධාරින් ගම් වැසියන් සමඟ එක්ව ගින්න වහා මැඩපත්වාගෙන යාම නිසා සිදුවන්නට ගිය විශාල හානියක් වලක්වාගැනීමට හැකිව ඇත.මාතර, දෙවිනුවර ප්‍රධාන මාර්ගයේ ඇති මෙම මහජන බැංකු ශාඛාවේ අද (28) උදෑසන 9.00 ට පමණ එහි පරිගනක කාමරයේ ඇති වායුසමීකරණ යන්ත්‍රයේ ඇති වූ විදුලි කාන්දුවීමක් නිසා මෙම ගින්න හට ගෙන ඇති බැව් මුලික පරික්ෂණ වල දී අනාවරණය වී ඇත. ගින්න ඇති වූ වහාම බැංකුවේ නිලධාරින් ගම්වාසින් එක්ව ගින්න මැඩ පවත්වා ගැනීමට හැකිව තිබුණි. මේ අතර මාතර මහනගර සභාවේ ගිනිනිවන ඒකකයද ගින්න මැඩ පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.

ළඟදීම ගාලුකොටු පවුරේ අධිකරණ ඉවතට,ගොඩනැගිලි සංචාරක ව්‍යාපාරයට

ගාලුකොටු පවුර ඇතුලත පිහිටි ගාලු මහාධිකරණය,දිසා අධිකරණය,මහේස්ත්‍රාත් අධිකරණය ඇතුලු සියලු අධිකරණ එම ස්ථානයෙන් ඉවත් කොට එම ගොඩනැගිලි සංචාරක ව්‍යාපාරයට ලබා දෙන බව අධිකරණ ඇමති රාවුෆ් හකීම් මහතා පවසයි. ගාල්ල බෙලිගහ හංදියේ ඉදිකරනු ලබන අංග සම්පූර්ණ නව අධිකරන සංකීර්ණයට සියලු අධිකරණ ගෙන එන බවත් ඔහු පැවසීය. අක්කර 4ක භූමි භාගයක එම අධිකරණ සංකීර්ණය ඉදිකෙරෙන අතර මීට රුපියල් මිලියන 850ක් වෙන් කර තිබෙන බවද වාර්තා වේ. මෙහි ඉදිකිරීම් කටයුතු ලබන ජනවාරියේ ආරම්භ කිරීමට නියමිතය.

ඉන්ධන කලමණාකරු ලක්ෂ 50ක්ම සාක්කුවට පොම්ප කරගනී

ගලේවෙල විවිධසේවා සමූපකාර සමිතිය විසින් පවත්වාගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හලේ රුපියල් ලක්ෂ 50කට අධික මුදල් වංචාවක් සිදුව ඇතැයි වාර්තාවේ.ඒ අතර එහි කලමණාකරු ආගිය අතක් නැති බවත් ඔහු මීට පෙරද මුදල් වංචාවකට හසුව සිටි අයෙකු බවත් වාර්තා වේ.ඉකුත් 25 පැවති මහ සභා රැස්වීමේදී සමුපකාර සාමාජිකයෙකු විසින් මේ පිළිබදව විමසා තිබෙන අතර එහිදී සමිතියේ සභාපතිවරයා පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 35ක පමණ වංචාවක් සිදුව ඇති බවය.මේ පිළිබදව සමූපකාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවද සභාපතිවරයා පවසා තිබේ

දූෂිතයා හැරෙන තැපෑලෙන් අල්ලයි

සේවය නිමකර 26 දින රාත්‍රී කාලයේ පා ගමනින් නිවස බලා ගමන් කරමින් සිටි තිස් දෙහැවිරිදි එක් දරු මවකට මරණීය තර්ජනය කර බිය ගන්වා මහ මගදී දූෂණය කරන ලද පුද්ගලයෙකු සිද්ධියෙන් පසු ප්‍රදේශය හැර පළාගොස් සිටියදී පැය 18 ක් ගතවීමට පෙර අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබේ. සැකකාර තරුණයා දිවයිනේ ලියා පදිංචි ‘C’ ශ්‍රේණියේ ලේඛණ ගත අපරාධකරුවෙකු බවද සඳහන්වේ. දෙදරු මව ඇඟලුම් සේවිකාවකි. සේවා මුරය නිමාවී රාත්‍රී 7ට පමණ හසලක හෙට්ටිපොළ මර්‍ගයේ මැය විදුලි පන්දම දල්වාගෙන පා ගමනින් ගමන් කරමින් සිට ඇත. ඇය ගමන් කරමින් සිටින විට දී පා පැදියකින් ඇගේ පිටුපසින් පැමිණි නාඳුනන අයෙකු ඇය ඉදිරියට විත් පාපැදිය පසෙකට තල්ලු කර දමා ඇය වෙත පැන කෑ ගැසුවහොත් මරණ බව පවසා බිය කොට ඇයව මර්‍ගයේ පසෙක තිබූ පාළු වෙළඳ සලකට රැගෙන ගොස් දූෂණය කර ඇත.

ජලාශ වල වාන් දොරටු අරියි පුත්තලම - මන්නාරම මාර්ගය වසයි

අධික ලෙස වැසි ලැබීම හේතුවෙන් රාජංගනය,තබ්බෝව සහ ඉඟිනිමිටිය යන ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි. ඒ අනුව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 08 ක් අඟල් 06 බැගින්ද, රාජාංගනය ජලාශයේ වාන් දොරටු 02 ක් අඩි 04 බැගින්ද,ඉඟිනිමිටිය ජලාශයේ 01 දොරටුවක් අඩි 01 බැගින්ද විවෘත කර ඇත.මෙම ජලාශ වලට තවමත් ජලය ලැබෙමින් පවතින නිසා තවත් දොරවල් කීපයන් දහවල් කාලය වන විට විවෘත කිරීමට ඉඩ ඇති බවද ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කරයි. මෙම ජලාශ වල වාන් දොරටු විවෘත කිරීමත් සමගම එම ජලය කලාඔයට සහ මීඔයට මුදා හැරේ.මෙම තත්ත්වය හේතුවෙන් කලාඔයේ සහ මීඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතී. කලාඔයේ ජල මට්ටම ඉහල යාම නිසා පුත්තලම - මන්නාරම මාර්ගය එළුවන්කුළම ප්‍රදේශයේදී වසා දමා ඇත.

බහිරව යාගය දෙදෙනෙක් බිලිගනී

දෙහිඅත්තකණ්ඩිය කදිරපුර ගම්මානයේ නිවසක අද (28) අලුයම බහිරව යාගයක් පවත්වමින් සිටි යුවළක් ආවේශ වී පිහියකින් මුවට සිදු කළ පහරදීමකින් පහළොස් වියැති පාසල් සිසුවියක්ද බරපතල පිලිස්සුම් තුවාල ලැබූ හත් හැවිරිදි දැරියක්ද මියගොස් ඇත. සිද්ධියෙන් 19 වියැති එක් දරු මවක් බරපතල පිලිස්සුම් තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය සහ රෝහලේ ප්‍රතිකාර ලබන බව දෙහිඅත්තකණ්ඩිය පොලිසිය කියයි. මියගොස් ඇත්තේ කදිරපුර අංක 25 ලිපිනයේ පදිංචිව සිටි අම්පාර අදහිඅත්තකණ්ඩිය දොලකන්ද මහා විද්‍යාලයේ 9 වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටි එච්.එම්. අමන්දා ‍ප්‍රභාෂ්වරි හේරත් නැමති සිසුවියක් හා හංසිකා නිලූ කුමාරි නැමති දැරියකි. දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ සිට පොළොන්නරුව ‍මහරෝහලට මාරු කර යවා ඇත. පිලිස්සුම් තුවාල ලැබූ අවුරුදු 19 වියැති එකදරු මව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඩබ්ලිව්. සී. කේ. වීරපාන මහතා ප්‍රකාශ කළේය.

විදෙස් මුදල් සපත්තුවල

රුපියල් ලක්‍ෂ 70 ක් පමණ වටිනා විදේශීය මුදල් තොගයක් සාජා වෙත රැගෙන යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් අද අළුයම සහකාර රේගු අධිකාරි නුවන් අබේනායක මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදී‍. සෞදි රියාල්, කටාර් රියාල් මුදල් නෝට්ටු රෝල් කර මිටි හතරක් ලෙස සෙලෝ ටේප් යොදා ,පැළඳ සිටි සපත්තු තුළ සඟවාගෙන සිටි බව රේගුව පවසයි. රේගු අධිකාරි ඉන්ද්‍ර උක්වත්ත මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ. දුරකථන උපාංග ව්‍යාපාරිකයෙකු වන සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

නරිකන්දේ කුඩු තිප්පොල අල්ලයි

මාතලේ නගරයේ පාසල් දරුවන් ඇතුලූ ලාබාල තරුණයින් මත් කුඩු පරිහරණයට යොමු කරන බවට සැලකෙන මාතලේ කලූදෑවල ‘‘ නරිකන්දේ කුඩු තිප්පොල ’’ 27 දා වැටලූ මාතලේ මූලස්ථාන පොලිසිය මත්ලෝලීන් තිදෙනෙකු ඇතුලූ පස් දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත. මාතලේ මූලස්ථාන පොලිසියේ දුෂන මර්ධන ඒකකය , කොට්ඨාශෂණ මර්ධන ඒකකය සහ විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් කන්ද වටලා කල සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකිව තිබේ

තරුණ ප්‍රතිපත්තියක් නැති එකම රට ශ්‍රී ලංකාවයි

ජාතික තරුණ ප්‍රතිපත්තියක් නැති එකම රට ශ්‍රී ලංකාව බවට පත්වෙමින් තිබෙන නිසා අද (28) දිනයේ සිට ජාතික තරුණ ප්‍රතිපත්තියක් සැකසීමේ කටයුතු ආරම්භ කරන බවත් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (27) පැවැසීය.
කොළඹ නාරාහේන්පිට පිහිටි එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ජාතික තරුණ ප්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (27) පැවැති මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා එම අදහස් පැවැසීය.
අද (28) දිනයේ සිට ආරම්භ කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සැකසීමේ ක්‍රියාවලිය ලබන වසරේ මැයි මාසය වන විට අවසන් කිරීමට බලා‍පොරොත්තු වන බවද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී කීය.
ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 21ක් පමණ වෙනවා. ඉන් තුනෙන් එකක් නියෝජනය කරන්නේ තරුණ තරුණියොයි. ප්‍රතිශතයක් විදිහට ගතහොත් එය සියයට 26කට ආසන්නයි. රටක ජනගහනය අතර තරුණයන් ප්‍රමාණය සියයට 26ක් දක්වා වර්ධනය වී තිබිම ශ්‍රී ලංකාවට හිමි මහඟු වරප්‍රසාදයක්. එනිසා එකී තරුණ ජනගහනය ‍පොදු ආකෘතියක් යටතේ ගොඩනැගීමටයි අප මෙම ප්‍රතිපත්තිය සකස් කරන්නේ. ඒ වගේම කිව යුතුයි මේ ප්‍රතිපත්තිය අප සාකච්ඡා කරන්නේ තරුණ සංවිධානයට, යෞවන සමාජවල ඇතුළු රටේ සමස්ත තරුණ වැඩිහිටි පුද්ගලයන්ගේ අදහස් හා යෝජනා මත බව අද (28) දිනයේ ආරම්භ වන්නේ එසේ දිවයින පුරා දත්ත එක්රැස් කර ගැනීමයි’ යැයිද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Tuesday, November 27, 2012

එජාප පාර්ලිමේන්තුමන්ත්‍රී දිලිප් වෙදආරච්චි රිය අනතුරකින් තුවාල ලබයි අයෙක් මරුට

අද (27) අළුයම 3.00ට පමණ රන්න ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා සහ තවත් අයෙක් තුවාල ලැබූ අතර මාර්ගයේ ගමන්ගත් අයෙක් ජීවිතක්ෂයට පත්වී ඇත. තුවාල ලැබූ මන්ත්‍රීවරයා ඇතුළු අය මාතර මහරෝහලට ඇතුලත්කර තිබේ.

අගමැති යළි එයි

අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතා අද (27) අලුයම 3.15ට පමණ නැවත දිවයිනට පැමිණ ඇතැයි වාර්ථා වේ . මාස 2කට වැඩි කාලයක් අමෙරිකාවේ "ජෝන්ස් හොප් කින්ග්ස්" රෝහලේ ප්‍රතිකාර ලැබු අග්‍රාමාත්‍යවරයාගේ සුවදුක් බැලීමට පසුගියදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද ගියේය . කනේ ආබාධයක් හේතුවෙන් අග්‍රාමාත්‍යවරයා රෝහල්ගත වූ පැවසේ.

සුප‍්‍රීම් සැට් වන් අද ගුවනට

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම චන්ද්‍රිකාව සුප‍්‍රීම් සැට් වන් අද (27) යලිත් අභ්‍යවකාශගත කිරීමට සැලසුම් කර තිබේ. සුප‍්‍රීම් සැට් වන් ඉකුත් බ‍්‍රහස්පතින්දා පස්වරුවේ චීනයේ සිට අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම්ගත කර තිබුණත් එය පසුව දින 5 කට කල් දමනු ලැබුවේ අයහපත් කාලගුණය නිසාය .

ගින්නෙන් ඉහළ මාලය විනාශයි

ඊයේ (26) රාත‍්‍රියේ ඇති වූ ගින්නෙන් කොළඹ - වේල්ලවීදියේ පිහිටි කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ ඉතා වටිනා ලිපි ලේඛන ඇතුලු බොහොමයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.‍ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ මහල් දෙකකින් යුතු අතර සහනාධාර අංශය, මහ දිසාපතිවරයාගේ නිළ කාර්යාලය, සැලසුම් අංශය, ගිණුම් අංශය සහ ප‍්‍රධාන රැස්වීම් ශාලාව පිහිටියේ ඉහළ මාලයේය ගින්නෙන් ඒ සියල්ල විනාශ වී තිබේ.

නොර්වුඩ් ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය ගිහින්

ඉකුත් දිනවල පැවති වර්ෂාව හේතුවෙන් හැටන් නොර්වුඩ් ප්‍රධාන මාර්ගයේ "වනරාජා "වතුයාය පිහිටි ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් නාය යාමට ලක් වී තිබේ.එනිසා වාහන ගමනාගමනයට බාධා මතුව තිබේ. මේ අනුව ඒක් දිසාවකට පමණක් එක් වාහනයක් යා හැකි පරිදි මාර්ගය දැනට සකසා තිබේ

හැඳල නිවසක ගෙල කපන ලද කාන්තා මළ සිරුරක්

වත්තල හැදල, මුතුරාජ මාවතේ නිවසක තිබී ගෙල කපා මරා දමන ලද කාන්තාවකගේ මළ සිරුරක් වත්තල පොලිසියට හමුවී තිබේ. අද (27) අලුයම මෙලෙස මියගොස් තිබෙන්නේ ශිරානී රණවීර (44) නැමති තිදරු මවකි. සිය දරු දෙදෙනෙකු හා මව සමග ඇ‍ය නිවසේ වාසය කොට තිබෙන්නේ දෙවන විවාහයේ සැමියාද සමඟය. සැමියා සමග නිතර ආරවුල් පැවතී තිබෙන බවත් මේ සැමියා විසින් තියුණු ආයුධයකින් ගෙල තුවාල කොට මරා දමා තිබෙන බවත් නිවසේ සිටි කිසිවෙකුට ඒ පිළිබදව ශබ්ධයක් හෝ නොඇසෙන ලෙස මරණය සිදුකොට ඇති බවත් වාර්තා වේ.

ඊයේ රනිල්ට එරෙහිව, අද රංගෙට එරෙහිව

පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා විසින් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන යන ව්‍යාපාරයට විරෝධය දක්වමින්‍ දේව කන්නලව්වක් සහ පොල් ගැසීමක් අද (27) හලාවත මුන්නේෂ්වරම ශ්‍රී භද්‍රකාලි කෝවිලේදී පවත්වන ලදි. වයඹ පළාත් සභා මන්ත්‍රී ශාන්ත අබේසේකර,හලාවත නගර සභාවේ (හිටපු සභාපති) නාගරික මන්ත්‍රී ස්විනි පෙරේරා යන මහත්වරුන් ඇතුලු විශාල පිරිසක් සහභාගි විය.

හොරෙන් ගිහින් දඩ කනවද? හිරේ යනවද?

බලපත්‍ර නොමැතිව ධාවනය කරන බස් රථ සඳහා නැගෙනහිර පළාත තුල මෙතෙක් පනවා තිබූ දඩ මුදල වන රුපියල් 10000 රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දමා තිබේ. සංශෝධනය කරන ලද නව ප්‍රඥප්තියට අනුව රුපියල් ලක්ෂයක දඩයක් හෝ දෙවසරකට නොවැඩි බන්ධනාගාරගත කිරීමක් කළහැකි බව නැගෙනහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.එම්.උදය කුමාර මහතා පැවසීය.

කොට්ටාවෙන් මාර්ග දෙකකට බස් නෑ ...........

කොට්ටාව-ගල්කිස්ස(255),කොට්ටාව-බොරැල්ල(174) යන බස් රථ ඊයේ (26) ධාවනයෙන් ඉවත් කරගෙන ඇති බව පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

නීති වි‍රෝධී ලෙස ලබා දුන් මාර්ග බලපත්‍රයක් හේතුවෙන් එකී සිදුවීමට විරෝධය දැක්වීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව හෙතෙම  සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග දිගින් දිගටම සාකච්ඡා කළද ඒ වෙනුවෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳ තමන් කනගාටුවන බව විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Monday, November 26, 2012

ආමර්වීදියේ නිවසකින් මළ සිරුරු 3ක් සොයාගනියි

කොළඹ ආමර්වීදියේ නිවසක තිබී අද සවස (26) මළ සිරුරු 3ක් සොයාගෙන තිබේ. මෙම අභිරහස් මරණ පිළිබ ආමර්වීදිය පොලීසිය පරීක්ෂණ පවත්වයි. පොලීසිය පවසන ආකාරයට මෙසේ මියගොස් ඇත්තේ එකම පවුලේ මව, පියා සහ පුතා බව මේ වන විට අනාවරණය වී තිබේ

යටාලතිස්ස රජු උපන් ස්ථානය නිදන් හොරු බිඳලා

කෑගල්ල ගලිගමුව යටහලෙන රජ මහා විහාරය නිදන් සොරුන් විසින් බිඳ දමා ඇතැයි විහාරාධිපති මාවිකන්දේ රතනපාල හිමියෝ අද (26) ගෑගල්ල පොලිසියට පැමිණිලි කර ඇත. කෑගල්ල ‍දිස්ත්‍රිකයේ ඉපැරණිම ලෙන් විහාරයක් වන මෙම ලෙන් විහාරය ක්‍රි. පූ. තුන්වන සියවසට අයත් එකකි. යටාලතිස්ස කුමරු උපන් ස්ථානය ලෙස සැලකෙන්නේ ද මෙම ලෙනක් තුළ බව ඵෙතිහාසික මූලාශ්‍ර සඳහන් කරයි. පසුගිය කාලය මුළුල්ලේ මේ ස්ථානය නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුව ඇත. යම් කිසි හේතුවක් මත අද (26) දවස තුළ විදුලිය විසන්ධි කර ඇති අතර ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන නිදන් හොරුන් විහාරගෙය කඩා එයට ඇතුලු වී විහාරගෙයි හිටි පිළිමයක පාදම බිඳ නිදන් ගැනීමට හානිකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර කෑගල්ල පොලිසිය පරික්ෂණ කටයුතු මෙහෙයවයි.

විභාගය කට උඩ තබාගෙන ක‍ට්ටියම සූර් වෙලා

දෙමව්පියන් නිවසේ නොසිටි අවස්ථාවක පාසල් සිසුවෙකුගේ නිවසක් තුළ සාදයක් පවත්වා දැඩි ලෙස බීමත්ව සිටි පාසල් ළමයි 07 දෙනෙක් ඉකුත් (24) දා බගවන්තලාව පොලිසිය භාරයට ගෙන භගවන්තලාව, දිසා රෝහල වෙත ඇතුළත් කළ බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අර්ජුන විජේවර්ධන මහතා පැවසීය. සිසුන් බගවන්තලාව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන වයස 16,14 හා 10 වයස් වල අය වෙති. මොවුන් අතරින් සිසුන් දෙදෙනෙක් මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අය බව පොලිසිය පවසයි. සිසුන් අධ්‍යාපනය හදාරමින් සිටින අයවලුන් නිසා මොවුන්ට එරෙහිව නීතිමය පියවර නොගෙන දැඩි ලෙස අවවාද කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ දෙමවුපියන් වෙත භාරදුන් බව බගවන්තලාව පොලිස්ථානාධිපති අර්ජුන විජේවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.

ආයෙත් කැන්ගරු බලන්න ගිහින්

ඔස්ට්‍රේලියාව බලා පලා යමින් සිටි පුද්ගලයන් අනූ දෙනෙකුගෙන් (90) සමන්විත බහුදින යාත්‍රා‍වක් දක්ෂිණ මුහුදු තීරයේ තංගල්ල මුහුදු සීමාවේ යාත්‍රාකරමින් සිටියදී දක්ෂිණ නාවික හමුදා නිලධාරින් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරට රැගෙනවිත් මූලික පරික්ෂණ සිදුකිරීමෙන් අනතුරුව අද (26) ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට භාර දී තිබුණි. අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ඔවුන් අද පස්වරුවේ ගාල්ල අධිකරණය ‍හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. මෙම පිරිස අතර ළමුන් දෙදෙනෙකු සහ කාන්තාවන් අට දෙනෙකු අතුළත් වී සිටියහ.

කොළඹ කච්චේරියේ හදිසි ගින්නක්

කොළඹ ගුණසිංහපුරට නොදුරින් පිහිටි කොළඹ කච්චේරියේ අද සවස ගින්නක් හටගෙන තිබේ. මේ අවස්ථාව වන විට එම ගින්න පාලනය කිරීමට ගිනි නිවන හමුදාව හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටියි. ගින්නෙන් විනාශයට පත් වූ දේපල සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු හෙළිදරව් වී නැත.

ගඟට දැමූ ප්‍රශ්න පත්තරේ සිද්ධ වෙච්ච විස්තරේ කියයි

දකුණු පළාත් සභාව මඟින් මෙවර වාර විභාගය සඳහා නිකුත් කළ ප්‍රශ්න පත්‍ර උපකාර පන්තියක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීමේ සිද්ධිය සම්බභන්ධව මාතර මූලස්ථාන පොලිසිය මඟින් අද (26) දික්වැල්ල ප්‍රදේශයේ පිරිවෙන ගුරුවරුන් දෙදෙනෙකු සහ කාර්යාල කාර්ය සහායකවරයෙකු ප්‍රශ්න කිරීමට අත්අඩංගුවට ගෙන ඇත. ගුරුවරුන් දෙදෙනාගේ සහය ඇතිව කාර්යාල සහායකයා විසින් මාතර නගරයේ උපකාර පන්තියක ගුරුවරයෙකුට මෙම ප්‍රශ්න පත්‍රය සැලකිය යුතු මුදලකට විකුණා ඇති බවට ‍තොරතුරු අනාවරණය වේ. ඒ සඳහා පිරිවෙන් ගුරුවරියන් දෙදෙනා ද සහය දී තිබේ. මේ අතර මෙම කාර්යාල සහායකවරයා මෙම ප්‍රශ්න පත්‍ර ඡායාපිටපත් මුද්‍රණය කොට අදාල ටියුෂන් ගුරුවරුන්ට ලබා දී අනතුරුව එය පාලමුව ප්‍රදේශයෙදී ගඟකට දමා ඇත. එහිදී කාන්තාවකට මෙය ලැබී පාසල් ශිෂ්‍යයෙකුට ලබා දීමෙන් පසු මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.

පරිගණකය සොරා ගත් 15 කොලුවා 18 දී අල්ලා උසාවියට

වසර 03 කට ඉහත නිවෙසකින්රුපියල් 51 000 දහසක් වටිනා පරිගණකයක කොටස් සොරකම් කිරීමේ වරදට බාලවයස්කාර සැකරුවෙක් බළන්ගොඩ දිසා අදිකරණයට ඉදිරුපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කළේය. සොරකම සිදුකරන අවස්ථාව වනවිට අවුරුදු 15 ක බාලවයස්කරුවෙක් වු අතර 25 වැනිදා බළන්ගොඩ පොලීසියට ඉදිරිපත් කර තිබේ. බළන්ගොඩ කිරි‍‍‍‍‍‍‍‍‍ඳිගල ප්‍රදේශයේ දි සොරකම සිදුකොට ඇත. සැකරුගේ අවසන් ප්‍රකාශ අනුව සොරකම් කළ භාණ්ඩ පොලිසිය මගින් සොයාගෙන තිබේ. 26 වැනිදා බළන්ගොඩ දිසා අධිකරණයේ නීතිඥ ගුණවර්ධන මහතා අපොස උසස්පෙළ විභාගයට ඉදිරිපත්වන සිසුවාට පොලිසිය පෙන්වා දුන් කරුණු හා වයස අවුරුදු 15 දී සිදුවු වරදක් බැවින් රුපියල් ලක්ෂයක ශරීර ඇපමත දෙමව්පියන්ඇපකරුවන් කරමින් නිදහස් කළේය. බළන්ගොඩ පොලීසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ෂෙල්ටන් උඩුවක හා උපපොලිස් පරීක්ෂක එම්.එල්.සමරවීර මහත්වරු විමර්ශන කටයුතු මෙහෙයවීය.

වැලිකඩ තදබදය මඬින්න සිරකරු පිරිසක් බූස්සට

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් පිරිසක් බූස්ස බන්ධනාගාරයට මාරු කිරීම සඳහා යෝජනා වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි. බන්ධනාගාරයේ පවතින අධික තදබදය අඩු කර ගැනීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත්ව ඇති අතර වැලිකඩ බන්ධනාගාරයේ තුන් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමට ආසන්න වීම නිසා එම ගොඩනැගිල්ලේ රඳවා සිටි සිරකරුවන් වෙනත් සිර මැදිරිවලට යොමු කිරීමට සිදුවීමෙන් තදබදය තවත් වැඩි වී ඇතැයි ද වාර්තා වේ. එම ගොඩනැගිල්ලේ උඩුමහල් දෙකේ රඳවා සිටි සිරකරුවන් ඉවත් කර පහත මාලයේ පමණක් ඔවුන් රැඳවීමට කටයුතු කර තිබුණ අතර ඊයේ (25) සිට එම සිරකරුවන් ද අනෙකුත් සිරකුටිවලට යොමු කිරීමට පියවර ගෙන ඇත.

අතුරුදන් වෛද්‍යවරියගේ කතාව බෝධි පූජාවකින් අවසන් වෙයි

මාතර මහ රෝහලේ නිරවින්දන වෛද්‍යවරිය දින තුනකට පසු අද (26) උදේ අනුරාධපුරයේ පිහිටි රත්නමාලි විශ්‍රාම ශාලාවේ සිටිය දී අනුරාධපුර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාට ලැබුණ තොරතුරක් මත ගොස් පොලිස් භාරයට ගත්තේය. එරන්දි කුලසිංහ නැමැති මෙම තරුණ වෛද්‍යවරිය පසුගිය සිකුරාදා (23) සිට අතුරුදන් වී සිටියාය. මෙම අතුරුදන් වීම පිළිබඳ ගාල්ල සහ කළුතර පොලිසි හා ඒවායේ බුද්ධි නිලධාරින් පරීක්ෂණ ආරම්භ කර තිබුණි. අද උදේ එරන්දි කුලසිංහ මහත්මිය රත්නමාලි විශ්‍රාම ශාලාවේ කාමරයක් කුළියට ගෙන නැවතී සිටින බවට ලැබුණ තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් සමග ගොස් ඇය පොලිස් භාරයට ගත් බව පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතා පවසයි. මේ වනවිට ඇය අනුරාධපුර පොලිස් අධිකාරි කාර්‍යලයට රැගෙන’විත් සිටී. ඇය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවම කරුණු විමසීමක් සිදු නොකළ බවත් වාර්ථා වේ. කෙසේ වෙතත් ඇයගේ අතුරුදන් වීම පිටුපස බොහෝ දුරට පෞද්ගලික කාරණා තිබෙන්නට පිළිවන් බව පොලිසිය විශ්වාස කරයි.

වර්ජනය නොකර දුවන බස්වල වීදුරු බිඳී

අම්බලන්ගොඩ පෞද්ගලික දුර ගමන් සේවා බස් වර්ජනයක් අද (26) සිට ආරම්භ වීම හේතුවෙන් මගී ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණපා සිටිති. විශේෂයෙන් ඉකුත් සිකුරාදා සති අන්තයේ කොළඹ සිට සිය ගම් රටවල් බලා ගිය සේවක සේවිකාවන් දහස් ගණනක් යළි අද දින උදේ කොළඹ පැමිණිමට මගක් නැතිව බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්හ. මේ අතර බස් වර්ජනයට සහභාගී නොවී බස්රථ ධාවනය කිරීම නිසා නාඳුනන පිරිසක් එම බස් රථවලට ගල්මුල්වලින් පහර දී තිබේ.එම පහර දීමෙන් මගීන් කිහිප දෙනෙක් සුළු තුවාල ලබා ඇත. මාතර සිට අද අලුයම කොළඹ බලා පිටත් වූ එස්.පී.එන්.ඩි.7385අංකය දරන බස් රථයේ පැති කණ්නාඩිය සහ ඉදිරිපස වීදුරුවේ කොටසක් කැඩී දමා ඇත.

විනාඩි පහක් රතු වැස්සක් වැටේ

කරුවලගස්වැව , කුඩාමැදවච්චිය ප්‍රදේශයට ඊයේ (25) සවස රතු වැස්සක් කඩා වැටුණු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒකකය කියයි. සවස 5.45 ට පමණ ඇද හැලී ඇති මෙම වර්ෂාව විනාඩි 05 කටත් අඩු කාලයකදී අවසන් වී ඇත. තම ප්‍රදේශයට ලැබුණු වැස්ස රතු පැහැ ගැන්වී තිබූ බවත්, එම ජලයේ යකඩ මෙන් කුඩා අංශු කැබලි දක්නට ඇති බවත් කුඩාමැදවච්චිය ගම්වාසීන් සඳහන් කළහ. පුත්තලම දිස්ත්‍රික්කයේ සෙසු ප්‍රදේශවලටද 25 වැනි දින වැසි ඇද හැළුණු නමුත් මෙවැනි තත්ත්වයක් එවැනි කිසිදු ප්‍රදේශයකින් වාර්තා නොවූ බව අප කරන ලද විමසුමකදී පුත්තලම ආපදා කළමණාකරණ ඒකකයේ නිලධාරියෙකු කියා සිටියේය.

ඌරු කොටු ගොවිපළේ පදිංචි වී සිටි දැරියක් හදිසියේ මිය ගිහින්

හලාවත , මුගුණුවටවන ප්‍රදේශයේ සුකර ගොවිපලක පදිංචිව සිටි දැරිවියක් හදිසියේම මියගොස් ඇත. මියගොස් ඇත්තේ මුගුණුවටවන , පුලියන්කාර, කරුන්කුලිය වත්ත නම්වූ සුකර ගොවිපලේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ ලක්මිණී ප්‍රියදර්ශණී රණසිංහ (අවු 8 යි මාස 04) නම් වූ පාසල් සිසුවියකි. මෙම දැරිවිය හදිසියේම රෝගී වීම නිසා ඇයව ඇයගේ දෙමව්පියන් විසින් ඉකුත් 25 දා සවස බිංගිරිය දිසා රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ඇය මියගොස් ඇත.පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත ශරීරය හලාවත මහා රෝහල වෙත එවා ඇත. මෙම දැරිවියගේ ශරීරයට කිසියම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන් මරණය සිදුවී ඇති බවට දැනට සැකයක් ඇත. කෙසේ වෙතත් මරණයට පත්ව සිටින දැරිවියගේ දේහය ඔවුන් පදිංචිව සිටි සුකර ගොවිපලේ නිවසට නොගෙනෙන ලෙස එහි හිමිකරුවන් මියගොස් සිටින දැරිවියගේ මව්පියන්ට දන්වා ඇත.

පොලිසියේ දී කතක් දේවාරූඪ වෙයි ඕ.අයි.සී. පුටුවෙනුත් ඇද වැටේ

රාජාංගනය ප්‍රදේශයේ පුද්ගලයකුට එම ප්‍රදේශයේ කාන්තාවක් පරුෂ වචනයෙන් බැණ වැදුන බවට එක්තරා පොලිසියකට පැමිණිල්ලක් ලැබුණි. අදාළ කාන්තාව පොලිසියට කැඳවා විභාගය පටන් ගත්තේය. පැමිණිලිකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු කාන්තාවගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ විය. හිටිහැටියේම නැගිටගත් කාන්තාව දේවාරූඩයෙන් නටන්නට පටන් ගත්තාය. දේව  භාෂාවෙන් කෑ ගසමින් පොලිස් ස්ථානය දෙවනත් කරන්නට වූවාය. සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා මෙම දසුනෙන් පුදුමයට පත් විය. කලබල වූ ඔහු පුටුවෙන් බිමට ඇද වැටුණි. ටික වේලාවකින් කාන්තාව සන්සුන් විය. ඉන්පසු නැවත විභාගය ආරම්භ විය. එහි දී ද පෙර පරිදිම කාන්තාව දේවාරූඩ වූවාය. ඉන්පසු දෙපාර්ශවය කැඳවා සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා දෙපාර්ශවයම සමාදාන කර ජීවිතය බේරා ගත්තේය.

බංගලාහත පාරට අදත් පස්කඳු

හැටන්, නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය, නුවරඑළිය අතර බංගලාහත ප්‍රදේශයේ පස්කඳු හා ගල් මාර්ගයට නිරන්තරයෙන් වැටීමත් සමඟ අද (26) දිනද එම මාර්ගය වසා දැමීමට පියවර ගෙන ඇත. මෙම මාර්ගය මෙසේ තාවකාලිකව වසා දැමීමත් සමග මාර්ගයේ රථ වාහන ධාවනය කළ නොහැකි තත්ත්වයක් පවතී. හැටන් සිට නුවරඑළිය දක්වා ගමන් ගන්නා බස්රථ නානුඔය දක්වාද නුවරඑළියේ සිට හැටන් දක්වා ධාවනය කරවන බස්රථ නානුඔය බැලැක් ෆුල් හන්දිය දක්වා ද ධාවනය කෙරේ.

කාසල් රී පිටාර මට්ටමට , හදිසි වාන් දොරටුව විවර කරයි

ලක්‍ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත් ප්‍රධාන ජලාශයක් වන කාසල් රී ජලාශයේ හදිසි වාන් දොරටුව ඊයේ (25) මධ්‍යම රාත්‍රී 12.00 සිට 5% ක ප්‍රමාණයක් විවෘත කර ජලය කැළණි ගඟට මුදා හැර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මධ්‍යම කඳුකරයේ ජල විදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශවලට මේ දිනවල ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්නව පවතින අතර මීට අමතරව නොටන්බ්‍රිජ් (විදුලිපුර), විමලසූරේන්ද්‍ර ජලාශයද පෙරේදා රාත්‍රී සිට වාන් දැමීමට පටන්ගෙන ඇත.

බිරිඳ භූමිතෙල් දමා ගනී සැමියා ගිනිකූරු ගසයි

පුරුෂයා බිය කිරීමට බිරිඳ විසින් තම ශරීරයට භූමිතෙල් වක්කර ගත් අවස්ථාවේ පුරුෂයා විසින් ගිනිකූරක් පත්තුකර විසිකිරීම හේතුවෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කළ බිරිඳ ‍ඊයේ (25) මිය ගොස් ඇත.මිය ගොස් ඇත්තේ වල්පොල, රාගම ප්‍රදේශයේ පදිංචි විසිඑක් හැවිරිදි තැනැත්තියකි. සිද්ධිය සම්බන්ධයෙක් අත්අඩංගුවට ගත් මියගිය අයගේ සැමියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඉකුත් 06 දා වල්පොල, රාගම පිහිටි නිවසේදී බිරිඳ හා සැමියා අතර බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෙම සිද්ධිය ඇති වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වති.

පියන් මහත්තයාගේ ගෙදර ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලයක්

බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකයකුගේ නිවසක පවත්වා ගෙන ගිය ‘පුංචි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්’ බඩල්කුඹුර පොලිස් ස්ථානාධිපති තිලක් රත්නායක මහතා ඇතුළු පිරිසක් විසින් ඊයේ (25) රාත්‍රී වටලන ලදී. එහිදී ජනතාවට බෙදා දීමට තිබූ ඉඩම් ඔප්පු හතළිහක්, දැව බලපත්‍ර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක භාවිතා වන සියලුම වර්ගයේ ලියකියවිලි සහ ජනතාවට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මෙන්ම සමිති, එහිදී ජනතාවට බෙදා දීමට තිබූ ඉඩම් ඔප්පු හතළිහක්, දැව බලපත්‍ර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක භාවිතා වන සියලුම වර්ගයේ ලියකියවිලි සහ ජනතාවට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය මෙන්ම සමිති, සමාගම් අත්සන් තැබූ නිල මුද්‍රා සහිත හිස් කොළ 300 ට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ දේපල අයථා ලෙස පරිහරණය කිරීම පිළිබඳව බඩල් කුඹුර මඩුගහපට්ටිය ප්‍රදේශයේ පදිංචි (30) ප්‍රසන්න සංජීව නැමැත්තෙකි. ඔහු අද (26) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

Sunday, November 25, 2012

පෙම් හුටපටයක් මුල් වී සිසුන් දෙපිරිසක් ගුටි කෙළියේ

පෙම් පලහිලව්වක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලික බස් රථයක් තුළ ඊයේ (24) රාත්‍රියේ උපකාරක පන්තිවලට සහභාගී වූ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගුටිබැට හුවමාරුවකින් සිසුන් තිදෙනෙකු තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. කුරුණෑගල සිට පොළොන්නරුව බලා ධාවනය වූ බස්රථයක් තුලදී ගලේවෙල නගරාසන්නයේදී මෙම ගැටුම ඇතිවී තිබේ. පහර දුන් සිසු පිරිස ගලේවෙල නගරයෙන් බැස පළා ගොස් තිබේ. ඔවුන් ගලේවෙල පන්කොළගොල්ල පදිංචිකරුවන් බවට පොලිසිය හඳුනා ගෙන ඇත. උසස් පෙල ඉගෙනුම ලබන සිසුන් දෙපිරිසක් අතර පසුගිය සති අන්තයේ ද ගැටුමක් ඇතිවී තිබේ. සිසුවකු හා සිසුවියක් අතර පවතින ප්‍රේම සම්බන්ධතාවක් ගැටුමට හේතුවී ඇති බව පොලිසිය කියයි. පහරකෑමට ලක්වූවන් දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. ගලේවෙල පොලිසිය පරික්ෂණ සිදුකරයි.