Thursday, December 27, 2012

අනුරපුර ශික්ෂණ රෝහ‍ලේ දුර්ලභ දරු උපතක්

                   ලෝකයේ සිදුවන දරු උපත් අතරින් ඉතා දුර්ලභ ගණයේ දරු උපතක් ඊයේ (26) උදෑසන 5.39 ට  අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේදී සිදූ වී  තිබේ. මෙහි ඇති සුවිශේෂත්වය නම් එක් මව් කුසක්  තුල දරුවන් දෙදෙනකු හටගෙන (නිවුන්) ඉන් එක් බිළිදෙකු සති 24දී  කුස තුල මිය ගොස් ඇති අතර එම බිලිදා සාමාන්‍ය අයුරින් කුසෙන් ඉවත් කර අනෙක් බිළිඳා සාමාන්‍ය අයුරින්  කුසතුළ වර්ධනය වී  මෙලොව එළිය දැකීමයි. 
                    වෛද්‍ය ඉතිහාසයේ නවවතාවක් මෙවැනි දරු උපත් සිදූ වී ඇතත් ශ්‍රී ලංකාව  වැනි අඩු පහසුකම් සහිත රටක මෙවැනි දරු උපතක් සිදුව ඇත්තේ තමන් දන්නා  තරමින් පළමු වතාවට බව අනුරාධපුර ශික්ෂණ රෝහ‍ලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අසේල අමරසිංහ මහතා අප සමග පැවසීය. 2007 වසරේදී මහා බ්‍රිතාන්‍යයේ මධ්‍යම ප්‍රාන්තයේ රසල්ස් හෝස් රෝහ‍ලේ කෙලි බැඩ්බර්න්ගේ නමැති 26 හැවිරිදි  ගුවන් සේවිකාව   (බ්‍රිතාන්‍යයේ මොනාත් ගුවන් සේවයේ) මෙවැනි දරු උපතක් කර ඇතත් එය සැත්කමක් මගින් වූ දරු උපතකි. 
                     එම දරු උපතටද දායක වී ඇත්තේ හීලංකාවේ වෛද්‍යවරයෙකු  වන ප්‍රසව හා නාරිවේද පිළිබඳ විශේෂඥ වෛද්‍ය සුමන ශීල ද සිල්වා මහතාය. එහෙත් අනුරාධපුර වැනි දුෂ්කර ප්‍රදේශයක අඩුපාඩුකම් යටතේ ඉතා ඕනෑකමින් සති 36ක් දරු ගැබද ආරක්ෂා කර මවගේ ජීවිතයද ආරක්ෂා කර මෙම දරු උපත සිදු කිරීමට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය අසේල අමරසිංහ මහතා ප්‍රමුඛ වෛද්‍යවරුන් වන සමන්ත කුමාර, චින්තක ධම්මිආරච්චි, චින්තක සෙනෙවිරත්න, සචි ගෝවින්දගේ, ප්‍රසාද් මාරසිංහ, තුසිත බෝධිනායක, සමීර නානායක්කාර යන මහත්ම මහත්මීන් කටයුතු කර ඇත. 

                      මෙම වාසනාවන්ත දරු උපත සිදුකර ඇත්තේ දඬුවැව, මැදවච්චිය පදිංචි ඒ. ජීවන්ති නිල්මිනි (29) මහත්මියයි. ඇය දෙදරු මවකි.

No comments: