Wednesday, January 30, 2013

පෙම්වතා සමග අත් අල්ලාගෙන පැමිණ නයි නළඟන පැමිණිල්ල අස්‌කරගනී



 


"අනේ අපි දෙන්නා සමාදානෙන් ඉන්නම් මෙයා උසාවි දාන්න එපා" යෑයි නයි නළඟන ලෙස ප්‍රසිද්ධ වූ රත්නායක මුදියන්සේලාගේ නිරෝෂා විමලරත්න නොහොත් නිලානි නමැති තරුණිය වැල්ලම්පිටිය පොලිසියට පැමිණ ඇය විසින් කරනු ලැබූ පැමිණිල්ල ඉල්ලා අස්‌කරගෙන ඇත.

මෙම තරුණිය පසුගිය 23 වැනිදා අලුයම කොළොන්නාව තෙල් ගබඩා සංකීර්ණය අසල හන්දියේ දමාගොස්‌ සිටියදී වැල්ලම්පිටිය පොලිසිය මගින් ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

එහිදී ඇය පොලිසියට පවසා ඇත්තේ තමාගේ පෙම්වතා වන සුල්තාන් අහමඩ් නමැත්තා තමාට පහරදී තුවාල සිදුකර මහමග දමාගිය බවයි.

මේ සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය පරීක්‌ෂණ ආරම්භ කර සැකකාර පෙම්වතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියදී "නයි නළඟන" වැල්ලම්පිටිය පොලිසියට පැමිණ පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීමට අවශ්‍ය බව පවසා ඇත.

පැමිණිල්ල අස්‌කර ගැනීමට නම් දෙපාර්ශ්වයම පැමිණිය යුතු බව පොලිසිය ඇයට පවසා ඇත. ඇය ඒ අනුව පසුදින පෙම්වතා සමග අත්අල්ලාගෙන පොලිසියට පැමිණ පෙම්වතා පොලිසියට ඉදිරිපත් කර දෙදෙනාම කටඋත්තර ලබාදී තවදුරටත් එකට වාසය කරන බවට පොලිස්‌ පොතේ අත්සන් යොදා පිටව ගොස්‌ ඇත.

මෙම "නයි නළඟන"ට පහරදීමේ සිද්ධියට මාධ්‍ය මගින් මහත් ප්‍රසිද්ධියක්‌ ලබාදීම නිසා වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක බණ්‌ඩාර මුණසිංහ මහතා සහ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති එච්. බී. දිසානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සැකකාර පෙම්වතා සොයා ප්‍රදේශ කිහිපයක්‌ නිරීක්‌ෂණය කර තිබිණි.

මේ අතර මෙම "නයි නළඟන" නමැත්තිය ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යද්දී නැවත දිනයක රෝහලේ මානසික ඒකකයට පැමිණෙන ලෙස රෝහලෙන් ඇයට උපදෙස්‌ දී ඇත.

No comments: