Monday, January 14, 2013

ගම්පොල නියංගම්පාය විහාර කෞතුකාගාරය කොල්ල කාලා


ගම්පොල රාජධානි සමයේ ඉතා දීප්තිමත් විහාරයක්‌ව තිබූ අනුරාධපුර නිමග්ගාමපාසාද නොහොත් නියංගම්පාය විහාරයේ කෞතුකාගාරය කඩා එහි තිබූ පුරාවිද්‍යා වටිනාකමක්‌ සහිත භාණ්‌ඩ කීපයක්‌ සොරාගෙන යැම පිළිබඳව ගම්පොල පොලිසිය හා මධ්‍යම පළාත් පුරාවිද්‍යා ආරක්‍ෂක විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පරීක්‍ෂණ ආරම්භ කොට තිබේ.

ගම්පොල රජසමය පැවැති ක්‍රි.ව. 1341-1470 කාලයේ හා ඉන් එහා ඉතා වටිනා පුරාවස්‌තු රැසක්‌ අඩංගුව තිබූ මෙම විහාර කෞතුකාගාරයට නිසි ආරක්‍ෂාවක්‌ නොතිබූ හෙයින් මෙහි තිබූ වටිනා පුරාවස්‌තු කීපයක්‌ම වරින් වර අස්‌ථානගත වී තිබේ. මෙහි තිබූ ගම්පොල යුගයට අයත් රන්පතද අතුරුදන්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ගෑස්‌ ලාම්පු උපයෝගි කර ගනිමින් මෙම කෞතුකාගාර ගොඩනැඟිල්ල ප්‍රධාන දොරටුවේ තිබූ අගුලේ තහඩු උණුකර දොර කඩා සොරුන් එහි ඇතුළට පිවිස ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මෙම කෞතුක භාණ්‌ඩවල නාම ලේඛනය පුරා විද්‍යාගාරයේ හා බෞද්ධ කටයුතු කොමසාරිස්‌වරයා සතුව ඇති බව පවසන විහාරාධිපති දන්තුරේ ධම්මානන්ද නාහිමියෝ සොරුන් රැගෙන ගොස්‌ ඇති භාණ්‌ඩවල සැබෑ තොරතුරු පැවසීය නොහැකි බව සඳහන් කරති.

පොලිස්‌ පරීක්‍ෂණ අනුව දැනට මෙහි තිබූ ඕලන්ද යුගයට අයත් පිස්‌තෝලයක්‌, ඊට අයත් කොපුවක්‌, වටිනා පාෂාණ ඇල්ලූ අත් පළඳනාවක්‌ හා රජ සමයට අයත් ගිර 2 ක්‌ අඩු බව සොයාගෙන තිබේ.

සොරකම නිරීක්‍ෂණයට පොලිස්‌ නිල සුනඛ අංශයද කැඳවා තිබූ අතර සුනඛයා විහාරස්‌ථානයේ සිට ගම්පොල නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ මීටර් 200 ක්‌ පමණ ගොස්‌ පරණ භාණ්‌ඩ රැස්‌කරන වෙළෙඳ සලක්‌ ඉදිරිපිට නතර වී ඇත.

ශත වර්ෂ ගණනාවක්‌ පැරැණි මෙම කෞතුකාගාරයේ ගොඩනැඟිල්ලේ ජනෙල් දොරවල් කැඩී බිඳී ගොස්‌ ඇති අතර නිසි ආරක්‍ෂාවක්‌ද නොමැතිකම ඉතිරිව ඇති පුරාවස්‌තුවලටද විශාල තර්ජනයක්‌ වී ඇත.

No comments: