Friday, January 18, 2013

උපන් ගමන් මැරුණු බිළිදාගේ සිරුර කානුවේ


පසුගිය දහතුන්වැනිදා සීතල වැලිමඩ සානුව උණුසුම් කරන පුවතකින් මුළු ප්‍රදේශයම කැලැඹී ගියේය.

ඒ උෟව පරණගම පොලිස් බලප්‍රදේශයේ කෝට්ටගොඩ මුස්ලිම් දේවස්ථානය අසල දිය පහරක බිලිඳු ළමා මළ සිරුරක් හමුවීම නිසාය. මේ බිලිඳු මළ සිරුර පොලිතීන් බෑගයක දමා දියපහර අසලට කිසිවකු විසින් ගෙනැවිත් දමා තිබේ.


මෙම සිද්ධිය පිළිබඳ උෟව පරණගම පොලිස් ස්ථානයට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා මගින් තොරතුරු වාර්තා විය. උෟව පරණගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත දිසානායක මහතාගේ උපදෙස් පරිදි උපපොලිස් පරීක්ෂකවරු වන සනත් කුමාර හා ජී.එම්. කාරියවසම් යන මහත්වරුන්ගේ මෙහෙයැවීමෙන් මූලික පොලිස් පරීක්ෂණ ආරම්භ විය. පොලිස් කොස්තාපල්වරුන් වන ජයවික්‍රම (4543), ප්‍රේමදාස (11705), ලියනාරච්චි (51457) හා කාන්තා පොලිස් කොස්තාපල් ජයවික්‍රම යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කණ්ඩායමක් මේ සඳහා පත් කර තිබිණි.


පොලිසියට ලැබුණු තොරතුරක් මත කෝට්ටගොඩ ප්‍රදේශයේම පදිංචි තිස් අට හැවිරිදි මුස්ලිම් ජාතික කාන්තාවක් මෙම මරණයට සැකපිට අත්අඩංගුවට ගත්තේය. දිය පහර අසල හමුවූ බිලිඳු මළ සිරුර ඇය ගෙනත් දැමූ බවත්, ඇය එම බිලිඳු සිඟිත්තියගේ මව බවත් පොලිසියේදී හඬා වැලපෙමින් පිළිගත්තාය.
මෙම සිද්ධිදාමය පිළිබඳ ඇය පොලිසියට ලබාදුන් ප්‍රකාශය හද කකියවන සුලුය. ඇගේ වචනයෙන්ම අපි ඒ දෙස බලමු.


මම විවාහ වෙලා හිටිය ස්වාමි පුරුෂයා මීට වර්ෂ පහකට පෙර මාව අතහැරලා දැම්මා. මට අවුරුදු දහතුනක පමණ පාසල් යන පිරිමි දරුවෙක් එම විවාහයෙන් සිටිනවා. මගේ වයසක පියා පමණයි මට සිටින්නේ. මීට පෙර දරුවාව ජීවත් කරවන්න ඕන නිසා එක පාරක් රටත් ගියා. මේ හැම දෙයක්ම මම කළේ ජීවත් වෙන්න. පසුව වැලිමඩ ප්‍රදේශයේ පුද්ගලයකු සමඟ සම්බන්ධයක් ඇති වුණා. පසුව ළමයා ලැබෙන්න මාස තුනක් ළංවෙනකොට ඔහු මාව මඟ හැරියා. අපේ ආගමේ, සමාජ තත්ත්වයේ හැටියට මේ නිසා මම විතරක් නෙවෙයි අපේ මුළු පවුලම නින්දාවට පත් වෙන බව මම දැන ගත්තා. මොනා කරන්නද ගබ්සාවක් හෝ කරගන්න වෛද්‍යවරයෙක් ළඟට යන්න අවබෝධයක් නැහැ. බඩ පේන්නේ නැති විදියට ඇඳුම් ඇන්දා.


පසුගිය එකොළොස්වැනිදා රාත්‍රියේ මට අමාරුවෙලා ළමයා ලැබෙන්න ආසන්න වුණා. ළමයා එළියට එනකොට මම වේදනාවට අත් දෙකෙන් එළියට ඇද්දා. ළමයා එවිට එළියට විසිවුණා. රහසේ මේ දේ කරන්න ඕන නිසා කවුරුත් උදවුවට අඬගහගත්තේ නැහැ. ළමයා මරා දමන්න මගේ අදහසක් තිබුණේ නැහැ. ළමයා කාටහරි හම්බ වුණාට පස්සේ හොර රහසේ හදා ගන්න දෙන්නයි හිටියේ. ළමයා එළියට ඇදීමේදී විසිවෙලා බිම වැටුණා. පස්සේ දරුවා කිරිවත් බීවේ නැහැ. ළමයා මිය ගිහිල්ලා කියලා මම දැන ගත්තා. පසුව හොර රහසේ බෑග් එකකට දාලා දියපහර ගාවට ගෙනත් දැම්මා. දරුවගේ බඩවැල පවා කැපුවේ මං.

සිද්ධිය පිළිබඳ වෛද්‍ය පරීක්ෂණය සිදුකළ නුවරඑළිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එන්.ඒ.සී. විජේරත්න මහතා කියා සිටියේ බිලි¼දාගේ මරණය සිදුවී ඇත්තේ මොළය තෙරපීමෙන් බවය. මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේ වැලිමඩ වැඩබලන මහෙස්ත්‍රාත් නන්දා ඒකනායක මහත්මිය විසිනි. අදාළ කාන්තාව වැලිමඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු වැඩබලන මහෙස්ත්‍රාත් නන්දා ඒකනායක මහත්මිය මෙම මස 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළාය.


ඇය මේ වන විට බදුල්ල මහ රෝහලේ මානසික හා අනෙකුත් ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

No comments: