Friday, January 18, 2013

බාල්කයේ එල්ලී දිවිනසාගත් දැරියගේ මරණය අභිරහසක්


lam1
මියගිය දීප්ති දර්ශනමාලි දැරිය සිය සොහොයුරා සහ තවත් දැරියක් සමග
සිය මවගේ සාරියකින් නිවසේ බාල්කයේ එල්ලී සියදිවි නසා ගන්නා ලදැයි කියන 11 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් අභිරහස් තැන් කිහිපයක් පෙනෙන්නට තිබෙන බව මියගිය දැරියගේ ඥාතීන්ගෙන් සහ අවට වැසියන්ගෙන් තොරතුරු ලැබෙමින් පවතී. මේ අන්දමට මියගියා යැයි කියන්නේ වැලිමඩ,ඇටම්පියේ,ජයසිංහ ගම පදිංචි වී සිටි දීප්ති දර්ශනමාලි නැමැති දැරියයි.
lam2
දීප්තිගේ මව, පියා සහ සොහොයුරා
ඇය හාලිඇල, ඇටම්පිටිය විදුහලේ 06 වසරේ සිසුවියක වන අතර ඇගේ මරණය සිදු වී ඇත්තේ ඉකුත් 13 වැනිදා සවස 4-5ත් අතර කාලයේ දී බව පරීක්ෂණ පවත්වන ඇටම්පිටිය පොලිසිය කියයි. මෙම දැරිය සිය මවගේ සාරියෙන් එල්ලී ඇත්තේ වහලයේ බාල්කයක බව අනාවරණය වෙයි. පොළවේ සිට මෙම බාල්කයට අඩි 12 -13ක් පමණ උසය.
lam3
දැරිය එල්ලී සිටියා යැයි කියන බාල්කය පිහිටි අයුරු සහ ප්ලාස්ටික් පුටු
පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ප්ලාස්ටික් පුටු 05ක් එක මත තබා මෙම දැරිය මවගේ සාරිය බාල්කයට දමන්නට ඇති බවකි. නමුත් එම නිවසේ තිබූ ප්ලාස්ටික් පුටු පහ එක මත තබා බැලීමේ දී පුටු පහේ මුළු උස අඩි තුනකට වඩා මඳක් වැඩි බව කියති.
lam4
ඇයගේ අවසන් ලිපිය
දැරියගේ උස අඩි හතරකි. මෙම දැරිය දිවිනසා ගැනීම සඳහා ගෙළට දමා ගෙන සිටි ගැටය හරකුන් බැඳීම සඳහා යොදා ගන්නා ‘මළ තොණ්ඩුව’ක් බව පැවසේ. එවැනි ගැටයක් ගසන්නට තරම් මෙම දැරිය මෝරා නැති බව පවසන ගම්මුන් ළමයා එල්ලී මියගොස් ඇතැයි කෑ ගැසුම මෙම නිවසින් නැගුනේ රාත්‍රි 11-12ත් අතර දී බව පවසති. එහෙත් ඇටැම්පිටිය පොලිසියේ මෙම සිද්ධිය සටහන් වී තිබෙන්නේ සවස 4-6ත් අතර කාලයේදී දරුවා එල්ලී මියගොස් සිටි ආකාරය දකින්නට ලැබුණ බවයි.
lam5
lam6
lam7
දැරියගේ අභ්‍යාස පොත්වල පිහිටි අකුරු, කවි සහ චිත්‍රයක්
මෙම නිවස අසල කුඩා කඩයක් පවත්වා ගෙන යන පුද්ගලයෙක් පවසන්නේ සවස් කාලයේ මෙම නිවසින් කිසිම ශබ්දයක් තමන්ට නොඇසුන බවකි. පවුලේ ඥාතියකු වන ත්‍රිවීල් රථ රියදුරෙක් රාත්‍රි 11 – 12ත් අතර කාලයේ මෙම නිවසට පැමිණ දරුවා එල්ලී සිටි සාරිය කපා රෝහලට රැගෙන ගිය බව කියති. එම සාරියේ තවත් ගැටයක් තිබී ඇතැයි ද සඳහන් වේ.
lam8
මියගිය දැරියගේ ඥාතීන්
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ දැරිය දහවල් ආහාරයට ගෙන ඇත්තේ රසකැවිලි වර්ගයක් බවයි. එහෙත් සාක්කිවලදී පවසා ඇත්තේ දවාලට සෝයා සමග බිත්තර ආහාරයට ගත් බවකි. මියගිය දැරිය ලියා තිබූ ලිපියේ සහ ඇගේ පාසල් පොත්වල අකුරු වෙනස් බවත් කියති.
lam9
පරීක්ෂණ පවත්වන ඇ‍ටම්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක ටී.එම්.කරුණාතිලක මහතා
කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අංශ පවසා සිටියේ සිද්ධිය ගැන අභිරහසක් පවතින බවට තොරතුරු තමන්ට ද ලැබී ඇති නමුත් මෙම පරීක්ෂණය හැම පැත්තකින් ඉතා විධිමත් හා අපක්ෂපාති ආකාරයට සිදුකළ බවයි. කිසිවකුට හෝ සැකයක් ඇත්නම් ඒ සඳහා ඉදිරිපත් වී කරුණු ඉදිරිපත් කළ හැකි බවත් පරීක්ෂණ අංශ වැඩිදුරටත් පවසයි.

No comments: