Saturday, November 10, 2012

ආදරයේ උණුසුම සොයා ගිය අමන්දා ජීවිතයෙන් වන්දි ගෙව්වා

අමන්දා ටොඩ් බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ ජීවත් වූ නව යොවුන් සුන්දර යුවතියක්‌. ඇය කාලයක පටන් අන්තර්¨ජාලයේ සයිබර් අවකාශයේ නිදහසේ පියාසර කරන්නේ හරියට පුංචි කිරිල්ලියක වගේ.

ඇය එසේ අන්තර්ජාලයට පිවිසීම ආරම්භ කරන විට ඇගේ වයස අවුරුදු 11 ක්‌. ඒ වනවිටත් ඇය මුහුණු පොතේ (Face book) කැපී පෙනෙන සාමාජිකාවක වී සිටියා.

මුහුණු පොතේ ඒ මේ අත සැරිසරමින් ඇය තමාට ගැළපෙන ආදරවන්ත මුහුණක්‌ ඇත්දැයි සොයා බැලුවා. ඇත්තෙන්ම ඇය සෙව්වේ නෑඹුල් ආදරයක උණුසුම.

දිනක්‌ ඇයට හදිසියේම තමාගේ මනදොළ සපුරා ගැනීමට ලැබුණේ අහම්බෙන් වාගේ. ඈ වෙනුවෙන් මුහුණු පොතේ පෙනී සිටි තරුණයෙක්‌ ඇගේ සුන්දර යොවුන් ලෝකයට ඇතුළු වීමට අවසර ඉල්ලා සිටියා. ඇයට එවේලේ කරන්නට තිබුණේ පරිගණකයේ මවුසයේ වම් පස තීරුවට ඇඟිල්ල තැබීම පමණයි.

මුහුණු පොත දිගේ පැමිණි මේ අමුත්තා ගැන ඇය මෙලෝ දෙයක්‌ දැන සිටියේ නෑ. ඇගේ මේ ආගන්තුකයාගේ ප්‍රියමනාප කතාබහ නිසා ඇයට එය දැනගැනීමේ ඕනෑකම යටපත් වන්නට ඇති. ඔහු කොහෝ ඉඳගෙන කතා කරනවාදැයි යන්න වත් ඇය දැන සිටියේ නැහැ. එහෙත් ඔහු 19 හැවිරිදි තරුණයෙකු බව නම් ඇය දැන ගත්තා.

ඒ වන විට භද්‍ර යෞවන වියේ සිටි අමන්දා මේ නම් මට කැපෙන තැනැත්තා යෑයි දෙහිතක්‌ නැතුව තීරණය කළා. ඒත් ඇය මේ තීරණය ගැනීමට ඉක්‌මන් වූවා වැඩි යෑයි ඇයට පසුව වැටහුණත් ඒ වන විට ප්‍රමාද වැඩියි.

කෙසේ වුවත් ආදරයේ ප්‍රේමණීය බව සොයා ඇරඹූ මේ ගමන කෙළවර වූයේ ඉතාමත් දුක්‌ඛදායක විදියට. සහකරු තමා සිතූ තරම් සුරකුමාරයෙකු නොවන බව වැඩි කලක්‌ යන්නට මත්තෙන් අමන්දාට වැටහී ගියා. දිනක්‌ ඇය තිගැස්‌සී ගියේ ඔහු ඇගෙන් ඉල්ලා සිටි එක්‌තරා අන්දමක ඉල්ලීමක්‌ නිසයි. මේ වන විට අමන්දා ඔහුගේ ඉල්ලීමක්‌ ඉටු නොකොට සිටීමට බැරි අන්දමින් ඔහු වෙත ළංවී සිටියා.

ඔහුගේ ඉල්ලීම වූයේ ඇගේ ළැම පෙදෙස නිsරාවරණය කොට දක්‌වන ලෙසටයි. තමා එසේ නොකොළොත් ඔහු තමා අතහැර යතැයි සිතූ අමන්දා මෙතෙක්‌ කිසිවෙකු හමුවේ නිරාවරණය නොකළ තම නිරුවත් ළැම වෙබ් කැමරාව දෙසට යොමු කළේ වැඩිදුර නොසිතායි.

එකෙණෙහිම ඇගේ පියකරු ළැමෙහි රූ සටහන් අනෙක්‌ පස සිටින ආගන්තුක තරුණයාගේ පරිගණක තිරයේ දිස්‌වුණා. අර්බුදය ඇති වූයේ ඉන් අනතුරුවයි. ඔහු වහාම ඇගේ නිරුවත් ළැම සහිත රූප රාමු වීඩියෝ ගත කළා. ඔහු එයින් නතර වූයේ නැහැ. ඔහු යළි යළිත් ඇයට බල කරමින් ඔහු පවසන ආකාරයට නැවත නැවතත් නිරුවත් වන ලෙස කියා සිටියා.

තමා නොසිතු ලෙසින් මහත් උගුලක පැටළුන ලෙසක්‌ අමන්දාට දැනුණා. මේ උමතු ඉල්ලීම පිළිකුල් කළ අමන්දා එයින් ගැලවීම සඳහා ඔහුගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කරමින් ඉන් ඉවත්වීමට තැත් කළත් ඔහුගෙන් ඊට ඉඩ ලැබුණේ නෑ. ඔහු කලින් ගත් වීඩියෝ ක්‌ලිප් එක පෙන්වමින් ඇය බිය ගන්වමින් ඇය වරදට පොළඹා ගන්නටත් ඔහු උත්සාහ කළා.

එයට විරෝධය දැක්‌වූ අමන්දා මුහුණු පොතින් ඉවත් වුවත් ඔහු ඇගේ නිරුවත් රූප ඇගේ ප්‍රදේශයේත් පාසල් මිතුරු මිතුරියන් අතරත් බෙදා හැර තිබුණා.

දැන් ඉතින් මොනවා කරන්නද? යුවතියකගේ ආත්මය රැඳී ඇත්තේ ඇගේ චරිතයේ බව අමන්දාට වැටහෙන විට කල් ගත වුණා වැඩියි. බොහෝ සංස්‌කෘතීන් යම් යම් සීමාවන් යුවතියන් වෙත පනවා ඇත්තේ ඔවුන්ගේම යහපත පිණිස බව ඔවුන් වටහා ගන්නේ නෑ. ඔවුන් සිතන්නෙ එම සීමාවන් තම මූලික අයිතීන් කඩ කිරීමට පනවන අණපනත් බවයි.

අවසානයේ කිසි ලෙසකින් වත් ගැලවිය නොහැකි ලෙස අප්‍රසන්න උගුලක අසු වූ අමන්දා කබලෙන් ළිපට වැටුණා. ඇය මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ අතර තදබල මානසික අවපීඩනයකටද ලක්‌ වුණා.

මේ අතර අර තරුණයා අමන්දාගේ නමින් ව්‍යාජ අන්තර්ජාල ගිණුමක්‌ විවෘත කොට විවිධ අයට අමන්දා ලෙස කතා කරමින් එම ගිණුම වෙත සල්ලාල මිතුරන් එක්‌ කොට තිබුණා. එහි ප්‍රතිඵලය වූයේ බොහෝ නොදන්නා පිරිස්‌ ඇයට ඇමතුම් දෙන්නටත් නිවස සොයා පැමිණෙන්නටත් පටන් ගැනීමයි.

අමන්දා තමාගේ ෆේස්‌ බුක්‌ ගිණුම වසා දැමූ අතර සියලු අන්තර්ජාල කටයුතුවලින් ඉවත් වුණා. ඇගේ දෙමාපියන් ඇය රැගෙන වෙනත් ප්‍රදේශයකට ගිය අතර අලුත් පාසලක්‌ද ඇයට සොයා දුන්නා. එහි සිටි වෙනත් තරුණයෙකුගේ ඇසුර අමන්දාට පිළිගන්නට සිදු වූයේ මේ අතරයි. ඒ තරුණයා තමාට සැබෑ ලෙස ආදරය කරන බවයි ඇගේ විශ්වාසය වූයේ. නමුත් සිදුවූයේ අවාසනාවන්ත දෙයක්‌. ඇය දෙවෙනි වරටත් රැවටුණා.

ඔහු අතින් අතවරයට ලක්‌වූ අමන්දාට ඔහු කියා සිටියේ ඇය කොහොම කෙනෙකුදැයි තමා මුල සිටම දැන සිටි බවයි. අලුත් පාසලද ඇයට ගැලවීමේ ආරක්‍ෂිත තැනක්‌ වූයේ නෑ. ඇගේ තොරතුරු එහි බොහෝ දෙනකු දැන සිටි බව අමන්දාට වැටහුනේ එහිදීද ඇය අවඥාවටත් පරිහාසයටත් කොන්කිරීමටත් ලක්‌වීමට පටන් ගත් පසුයි.

ඇයට සිදුවූයේ යළිත් වතාවක්‌ වාසය වෙනස්‌ කිරීමටයි. මෙයින් අමන්දා දැඩි මානසික අවපීඩන තත්ත්වයකට ගොදුරු වෙමින් සිටියා. මින් පෙර අවස්‌ථා තුනකදී ඇය දිවිනසා ගැනීමට තැත් කර තිබුණා. ඒ හැම විටකදීම ඇය ඉන් මුදා ගැනීමට නිවැසියන්ට හැකි වුණා. එහෙත් මේ අවසාන අවස්‌ථාවේ ඒ කියන්නේ පසුගිය මස 10 වැනිදා අමන්දා මෙලොව හැර ගියා.

"ආදරය නිසා හර්දේ බැඳෙනා අපරාදෙ ජීවිත හානි වේ" යන රුක්‌මණී දේවියගේ සුප්‍රසිද්ධ ගී ඛණ්‌ඩය මෙහිදී සිහියට නැගීම වලක්‌වන්නට බැහැ.

මේ වන විට අමන්දා අනතුරේ දැමූ ආගන්තුක අපරාධකරු සොයා රෝයල් කැනේඩියන් මවුන්ටඩ් පොලිසිය ක්‍රියාත්මක වෙනවා. එහි සාජන් පීටර් තිසීන් කියා සිටින්නේ ඒ තැනැත්තා 19 හැවිරිදි නොව 32 හැවිරිදි වැන්කූවර් ප්‍රදේශයේ සිටින කෙනෙකු බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

ඇගේ මරණය ඇසූ දහස්‌ ගණන් නොයෙක්‌ තරාතිරමේ අන්තර්ජාලය පරිහරණය කරන්නන් තම ශෝකය හා වේදනාවත් අපරාධකරු වෙත තමාගේ පිළිකුලත් දැක්‌වෙන ප්‍රකාශ නිකුත් කර තියෙනවා. ඇතැම් අය අන්තර්ජාලයේ ෆේස්‌ බුක්‌ පරිහරණයේදී අනුගමනය කළ යුතු ආරක්‍ෂක ක්‍රමද අනිකුත් අයට පැහැදිලි කරමින් ඉතා සංවේදී ප්‍රකාශ නිකුත් කර තිබෙනවා.

ඈ වෙනුවෙන් දුක්‌ වන අය අතර ඇගේ දෙමාපියන් ඉතා ශෝචනීය තත්ත්වයකයි පසු වෙන්නේ. තම දරුවා අර රකුසාගෙන් ගලවා ගැනීමට බැරි වීම ගැන ඔවුන් පසුතැවෙනවා. අමන්දාගේ මව කැරොල් මහත්මිය මානසික පීඩාවනට පත් වූ අයට උපදෙස්‌ හා නීති ක්‍රියාමාර්ග ගත හැකි ආයතනයක අඩුපාඩුව පෙන්වා දෙන අතර ඈ ඒ සඳහා අරමුදලක්‌ද පිහිටුවා තිබෙනවා.

අමන්දා මිය යන්නට පෙර කරන ලද ඉතා අගනා ඉල්ලීමක්‌ දැන් ලොව පුරා ප්‍රචලිතව පවතිනවා. එනම් පමණට වඩා තම පෞද්ගලිකත්වය අන්තර්ජාලයට විවෘත නොකරන ලෙස ඉල්ලා සිටින ඇය කියා සිටින්නේ අන්තර්ජාලයට මුදා හල පින්තූරයක්‌ නැවත කිසිලෙසකින්වත් ලබා ගත නොහැකි බවයි.

පමණට වඩා ෆේස්‌ බුක්‌වල රැඳෙමින් කාලය කා දමන අපේ ඇතැම් නංගිලා මල්ලිලාට අමන්දා තම ජීවිතය හිලව් කරමින් උගන්වා ඇති මේ පාඩම නම් රටක්‌ වටිනවා.

ඇගේ මේ ඉ ල්ලීම යූ ටියුබ් වෙබ් අඩවියෙන් ඔබට අවශ්‍ය නම් නැරඹිය හැකියි.

No comments: