Tuesday, January 8, 2013

කොළඹ කොටුව මගී පාලම උඩදී බිඳී ගිය ප්‍රේමයට පළි ගැනීමක්‌


ප්‍රේම සම්බන්ධතාවක්‌ බිඳී යැම නිසා කෝපයට පත් වූ පොලිස්‌ කොස්‌තාපල්වරයකු ඊයේ (07 වැනිදා) පෙරවරුවේ කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිට මගී පාලම උඩදී පොලිස්‌ කොස්‌තාපල්වරියකගේ ගෙල කපා කෲර අන්දමින් ඝාතනය කර පසුව එම කොස්‌තාපල්වරයා ද වස පානය කර ඇත.

මෙහිදී ඝාතනයට ලක්‌ වූ කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (8029) නදීෂානි මධුභාෂිනී සමරසිංහ කාන්තා පොලිස්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකාවක ලෙස කටයුතු කරමින් සිටි නිලධාරිනියකි.

ඇය ඊයේ පෙරවරුවේ සිය පුහුණුවීම් සඳහා පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානය වෙත යමින් සිටියදී මෙසේ ඝාතනයට ලක්‌වී ඇත.

සිය හිටපු පෙම්වතිය ඝාතනය කිරීමෙන් පසු වස පානය කළ 30 හැවිරිදි පොලිස්‌ කොස්‌තාපල් නිලන්ත පුෂ්පකුමාර අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඝාතනයට ලක්‌ වූ පොලිස්‌ කොස්‌තාපල් නදීෂානි පොලිස්‌ මූලස්‌ථානයේ නිෂ්කාෂණ අංශයේ රාජකාරි කරන අතර ඇය මාස තුනකට ආසන්න කාලයක සිට කාන්තා පොලිස්‌ ක්‍රිකට්‌ කණ්‌ඩායමට අනුයුක්‌ත කර සිට ඇත.

ඒ අනුව පොලිස්‌ ක්‍රීඩා අංශයට අනුයුක්‌තව ක්‍රිකට්‌ ක්‍රීඩා පුහුණුවීම්වල යෙදුණු නදීෂානි දිනපතාම කොළඹ කොටුව පොලිස්‌ ස්‌ථානයේ භට නිවාසයේ සිට එහි යැමට පුරුදුව සිටියාය.

මෙම ඝාතනය සිදු කළ කොස්‌තාපල් පුෂ්පකුමාර මොනරාගල පොලිසියට අනුයුක්‌තව රාජකාරි කළේය. රාජකාරි කටයුත්තක්‌ සඳහා පොලිස්‌ මූලස්‌ථානයට දුරකථන ඇමතුමක්‌ ලබාදුන් අවස්‌ථාවේ නදීෂානි සමඟ මුලින්ම කතා කළ පුෂ්පකුමාර පසුව ඇය සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනගාගෙන තිබිණි.

එම සම්බන්ධතාව ඇති වී ඇත්තේ මීට වසරකට පමණ පෙරය. පෙම්වතුන් ලෙස කාලයක්‌ සිට ඇති නදීෂානි සහ පුෂ්පකුමාර අතර ආරවුල් ඇතිවන්නට පටන්ගෙන ඇත්තේ මීට මාස කීපයකට පෙරය.

පසුව නදීෂානි සිය ප්‍රේමවන්තයා වූ පුෂ්පකුමාරගෙන් ඉවත් වීමට සැලසුම් කළාය. ඇය ඒ බව පුෂ්පකුමාරට දැනුම් දීමෙන් පසු ඔහු ඊට තදින් විරුද්ධ වී ඇත.

එහෙත් නදීෂානි සිය පෙම්වතා සමඟ පැවැත්වූ සියලු සබඳතා අතහැර දමා තමා සමඟ මින් පසු කතා කිරීමටවත් නොඑන ලෙස ඔහුට දැනුම් දී තිබේ.

ප්‍රේම සම්බන්ධය නතර කිරීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව සිටි පුෂ්පකුමාර පසුගිය 3 වැනිදා නිවාඩු ලබා ගත්තේය. තම මවට අසනීප බව කියමින් මොනරාගල පොලිසියේ ස්‌ථානාධිපතිවරයාගෙන් නිවාඩු ලබාගත් පුෂ්පකුමාර කොළඹට පැමිණ ඇත්තේ නදීෂානිගෙන් පළි ගැනීමේ ෙච්තනාවෙන් බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

නදීෂානි සමඟ එකඟතාවකට ඒමට අපහසු වූවොත් ඇය මරා දැමීමට විශාල මන්නා පිහියක්‌ ද රැගෙන පැමිණි පුෂ්පකුමාර කොළඹ කොටුව ටෙලිකොම් ආයතනය ඉදිරිපිට මගී පාලම මතට වී ඇය එනතුරු බලා සිට ඇත.

ඊයේ උදේ 6.30 ට පමණ නදීෂානි මගී පාලම මතින් පැමිණ ඇත්තේ පොලිස්‌ ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානය වෙත බස්‌ රථයෙන් යැම සඳහාය. ඒ අවස්‌ථාවේ මග රැක සිටි සැකකාර පුෂ්පකුමාර ඇය සමඟ බහින්බස්‌ වීමක්‌ ඇතිකර ගත්තේය.

නදීෂානි පුෂ්පකුමාරගෙන් ඉවත් වී යැමට සැරසෙද්දී එකවරම සඟවා ගෙන සිටි මන්නා පිහිය ඉවතට ගත් සැකකරු ඇගේ කෙස්‌වැටියෙන් අල්ලා ගෙල කපා ඇත. පසුව නදීෂානිගේ සිරුරේ ස්‌ථාන කීපයක්‌ම කපා දැමූ සැකකරු පසුව කලිසම් සාක්‌කුවේ සඟවාගෙන සිටි වස කුප්පිය ඉවතට ගෙන වස පානය කළේය.

මෙම සියලු සිද්ධීන් මගී පාලම මත සිටි යාචක කාන්තාවක්‌ දැක ඇති අතර ඇයගේ කෑගැසීම නිසා පොලිස්‌ නිලධාරීන් එහි පැමිණ තිබේ.

ඒ අවස්‌ථාවේ වස පානය කර අසාධ්‍ය තත්ත්වයේ සිටි කොස්‌තාපල් පුෂ්පකුමාර රෝහල වෙත රැගෙන යැමට පොලිස්‌ නිලධාරීහු කටයුතු කළහ.

සැකකාර කොස්‌තාපල්වරයා වලපනේ පදිංචිකාරයකු වන අතර ඔහු අවිවාහකයෙකි. කොටුව පොලිසිය මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

No comments: