Saturday, January 5, 2013

අගවිනිසුරුගේ ඉරණම සති අගදී තීන්දු වේ!

අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය එම ධුරයෙන් ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ගැනීම සඳහා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙම සති අන්තයේදී ජූරි සාමාජිකයන් බවට පත්වෙති.

ආචාර්ය ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය දෝෂාභියෝගයේ සඳහන් චෝදනාවලට වරදකරු ද නිවැරදි කරුද යන්න තීරණය කිරීම සඳහා පක්‍ෂ නායකයින්ගේ එකඟත්වය මත බොහෝ දුරට මෙම 10 සහ 11 යන දිනවලදී දෝෂාභියෝග විවාදය පාර්ලිමේන්තුවේදී සිදු කරනු ඇතැයි නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි මහතා  ප්‍රකාශ කළේය.

මේ අතර මෙම විවාදය සඳහා දින දෙකක්‌ ලබාදෙනවාද එසේ නොමැතිනම් විපක්‍ෂයට වැඩි කාලයක්‌ ලබාදී එක දිනයකදී පමණක්‌ එය විවාදයට ගෙන අවසන් තීන්දුව ලබා දෙනවාද යන්න පිළිබඳ ආණ්‌ඩුව සාකච්ඡා කරමින් සිටින බව ආණ්‌ඩු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඒ පිළිබඳවද පක්‍ෂ නායක රැස්‌වීමේදී එකඟතාවකට පැමිණිය යුතු බව කී හෙතෙම ඒ සඳහා මෙම 08 වැනිදා එනම් නව වසර පාර්ලිමේන්තුව රැස්‌වන පළමු දිනයේදී පක්‍ෂ නායකයින් රැස්‌වන බවද කීය.

මැතිසබය ජූරි සභාවක්‌ බවට පත්වී දෝෂාභියෝගය පිළිබඳ විවාදය පවත්වා අගවිනිසුරුවරිය වැරදිකරුද නිවැරැදිකරුද යන්න පිළිබඳ ඡන්ද විමසීමක්‌ සිදුකරනු ඇත. එහිදී අගවිනිසුරුවරිය නිවැරදිකරු බවට තීරණය කර ඇය එම ධුරයෙන් ඉවත් නොකළ යුතු බවට සරල බහුතරයකින් සම්මත වුවොත් දෝෂාභියෝග ක්‍රියාවලිය ඉන් අහෝසි වන බවද නියෝජ්‍ය කථානායකවරයා පැවසුවේය.

අගවිනිsසුරුවරිය එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට බහුතර ඡන්දයකින් තීරණය වුවොත් ඒ බැව් කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට දන්වා යවනු ඇත. අනතුරුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ අගවිනිසුරුවරිය තනතුරෙන් ඉවත් කළ බවට දැනුම් දෙන බවද චන්දිම වීරක්‌කොඩි මහතා කීවේය. පාර්ලිමේන්තුව ඕනෑම අවස්‌ථාවක කැඳවා ජනාධිපතිවරයාට සිය තීරණය දැනුම් දිය හැකි බවද හෙතෙම කීවේය.
 

No comments: