Thursday, January 3, 2013

සිසු ගැටුමකින් පසු මොරටු සරසවි පීඨ දෙකක්‌ වැසේ

මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමකින් පසු එහි පීඨ දෙකක්‌ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය ඊයේ (02 වැනිදා) පියවර ගෙන ඇත.මෙසේ වසාදමනු ලැබුවේ ඉංජිනේරු සහ උසස්‌ තාක්‍ෂණ යන පීඨ දෙකයි.

උසස්‌ තාක්‍ෂණ පීඨයේ සිසුන් දෙදෙනකු පීඨ පරිශ්‍රයේ ගමන් කරමින් සිටියදී ඉංජිනේරු පීඨයේ සිසුවකු යතුරු පැදියකින් ඔවුන්ට අනතුරක්‌ නොවන ලෙස මැදින් ගමන් කිරීමේ සිද්ධියක්‌ මුල්කරගෙන ඇතිවූ බහින්බස්‌ වීමකින් පසු මෙම ගැටුම හටගෙන ඇති බව මොරටුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී තිබේ.

පීඨ දෙකේ සිසුන් විසින් පෙරේදා (01 වැනිදා) රාත්‍රි විදුලියද විසන්ධි කර ගැටුම ඇතිකර ගෙන තිබෙන අතර ඉන් කිසිවකුටත් බරපතළ තුවාල සිදුව නැතැයි මොරටුව පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ කීය.

සිද්ධියෙන් යතුරු පැදියකට හානි වී ඇත.

මෙය සැලකිල්ලට ගෙන පීඨ දෙක නැවත දැනුම්දෙන තුරු වසා දමා සිසුන්ට විශ්වවිද්‍යාල භූමියෙන් හා නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස ඊයේ (02 වැනිදා) පාලනාධිකාරිය දැනුම් දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පීඨ දෙකේම සිසුන් රැසක්‌ කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊයේ (02 වැනිදා) මොරටුව පොලිසිය කටයුතු කර තිබිණි. ගල්කිස්‌ස කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස්‌ මත මොරටුව සහකාර පොලිස්‌ අධිකාරී එම්. සමුද්‍රජීව, මොරටුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. නූර්දීන් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

No comments: