Thursday, January 3, 2013

කෝටි දෙකක මත්කුඩු සමග ඉරාන ජාතිකයා ගුවන්තොටේදී දැලේ

රුපියල් දෙකෝටි හැට ලක්‍ෂයක්‌ වටිනා "මෙට්‌ඇම්පිටමයින්" මත්ද්‍රව්‍ය තොගයක්‌ රැගෙන පැමිණි ඉරාන ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (01 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන්තොටුපළේ ග්‍රීන් චැනල් දොරටුව ඔස්‌සේ ගමන් ගත් ඉරාන ජාතිකයා පිළිබඳව සැක පහළ කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහකාර රේගු අධිකාරිවරුන් වන මනුෂ්ක විඡේසූරිය සහ එම්. අයි. රසීක්‌ යන නිලධාරීන් ඔහු පරීක්‍ෂා කර තිබේ.

ඒ අවස්‌ථාවේ මෙම ඉරාන ජාතිකයා සතුව මත්ද්‍රව්‍ය තොගයක්‌ ඇති බව සොයාගත් රේගු නිලධාරීන් ඔහු වැඩිදුර පරීක්‍ෂණ සඳහා ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත රැගෙන ගොස්‌ ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරීක්‍ෂණයක දී මෙම ඉරාන ජාතිකයාගේ ගමන් බෑගයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි විය.

ඉරාන ජාතිකයා සිය ගමන් බෑගයේ පතුලේ ඉතාම සුරක්‍ෂිත ආකාරයට මත්ද්‍රව්‍ය තොගය අසුරාගෙන තිබූ අතර ගමන් බෑගය විවෘත කර එහි තිබූ කිලෝ ග්‍රෑම් දෙකක බරින් යුත් හෙරොයින් තොගය රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

ඉරාන ජාතිකයා පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මොහු මත්ද්‍රව්‍ය, ප්‍රවාහනය කරන්නකු බවට සැක පහළ කෙරේ.

මෙට්‌ඇම්පිටමයින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය වර්ගය ඉතාම ඉහළ වටිනාකමකින් යුක්‌ත වන අතර මීට ඉහත අවස්‌ථා කීපයකදීම මෙම වර්ගයේ මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීහු සමත් වූහ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ඊයේ දහවල් භාරදෙන ලදී. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකුද සම්බන්ධ වී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිසිය ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම, රේගු අධිකාරී සරෝඡ් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ සහකාර රේගු අධිකාරිවරුන් වන එම්. කේ. උදය ගාමිණී, චන්දන ගමගේ, තිළිණ වීරසේකර ඩී. ඩී. එස්‌. ඩී. මයිකල් ප්‍රබුද්ධ පෙරේරා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම කළහ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

No comments: