Thursday, January 3, 2013

සියලු ඖෂධවල සිල්ලර මිල සඳහන් කිරීම අනිවාර්ය කෙරේ

සියලුම ඖෂධ හා විටමින් වර්ග වෙළෙඳපළට නිකුත් කිරීමේදී සිල්ලර මිල සඳහන් කිරීම ජනවාරි 01 දා සිට අනිවාර්යය කළ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.

2003 අංක 09 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10 (1) (අ) වගන්තියට අනුව පැවරී ඇති බලතල මත ජනවාරි 01 වැනිදා නිකුත් කළ විශේෂ ගැසට්‌ නිවේදනයකින් එම නියෝගය කළ බවද ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (02දා) එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

ඒ අනුව අදාළ සමාගම් මින් ඉදිරියට ඖෂධ වර්ග වෙළෙඳ පළට නිකුත් කිරීමේදී උපරිම සිල්ලර මිල එහි සඳහන් කළ යුතු බවද හෙතෙම කීවේය.

ඖෂධ වර්ග හිතූ හිතූ මිල ගණන්වලට අලෙවි කරන බවට පැමිණිලි ලැබී තිබෙන බවත්, පාරිභෝගික ජනතාව ආරක්‍ෂා කිරීමේ අරමුණින් එම පියවර ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙම තීරණය පළමු අදියර යටතේ ක්‍රියාත්මක වන බව කී ජෝන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා සියලුම ඖෂධ පාලන මිලක්‌ යටතට ගෙන ඒමේ දෙවැනි අදියර ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළේය.

උපරිම සිල්ලර මිලට අමතරව කාණ්‌ඩ අංකය, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, ප්‍රබලතාව, නිෂ්පාදිත සමාගම හෝ ආනයනික සමාගම, නම ලිපිනය ද ඖෂධවල විශේෂිතව සඳහන් කළ යුතු බව ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

No comments: