Friday, January 11, 2013

ශ්‍රී ලංකාව පලමු තරගයම ඇනගනී.....

                       ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී අද (11 වනදා) පැවැත්වුණු ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පලමු එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වය යලි පෙන්වාදෙමින් ලකුණු 107කින් ඕස්ට්‍රේලියා ජය ලැබීය.
                       අද කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ජෝර්ජ් බේලි පලමුවෙන්ම පන්දුවට පහර දීමේ කාර්යය තම කණ්ඩායමට පවරා ගනිමින් නියමිත පන්දු වාර 50 අවසානයේදී කඩුළු 5ක් පමණක් දැවී ළකුණු 305ක් රැස් කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඇඩි අසීරුතාවයට පත් කරමින් ආරම්භක පිතිකරු පිලිප් රෝජස් අගනා ළකුණු 112ක් රැස් කළේය. පන්දු 129කදී වාර්ථා වූ මෙම ඉණිමට හතරේ පහර 14ක් ඇතුළත් විය. නායකත්වයේ ඉණිමක් ක්‍රීඩා කල ජෝර්ජ් බේලි ළකුණු 89ක් රැස් කලේ පන්දු 79කට පමණක් මුහුණ දෙමිණි. එම ඉණිම හතරේ පහර 8කින් හා එක් හයේ පහරකින් වර්ණවත් විය.
                         තරගයේ ඕස්ට්‍රේලියා ඉණිමේ අවසානයේ දී ක්‍රියාත්මක වූ ඩේවිඩ් හසී පිටියේ හතර අතට ප්‍රහාර එල්ල කරමින් නොදැවී වේගවත් ළකුණු 60ක් රැස්කලේ පන්දු 34කට පමණක් මුහුණ දෙමිණි. එම ඉණිමට හතරේ පහර හයක් සහ එක් හයේ පහරක් ඇතුළත් විය.  එහි ළකුණු ලබාගැනීමේ සාමාන්‍යය 176.47 ක් ලෙස සටහන් විය. නියමිත පන්දු වාර 50 අවසානයේ ඕස්ට්‍රේලියානු ළකුණු පුවරුව කඩුළු 5කට  ළකුණු 305ක් ලෙස සටහන් විය.
                       ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අජන්ත මෙන්ඩිස් කඩුළු 3ක් සහ ලසිත් මාලිංග කඩුළු 2ක් බිද හෙලීමට සමත් වූහ. වෙන්ත් කිසිම පන්දු යවන්නෙකුට කඩුළු දවා ගැනීමට හැකියාවක් නොලැබිණි.
                        ළකුණු 306ක ඉලක්කයක් පසුපස හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි උපුල් තරංග යලිත් වතාවක් අසාර්ථක වෙමින් එක් ළකුණකට දැවී ගියේය. ටී එම් ඩිල්ෂාන් ළකුණු 51ක් ලබා සිටියදී අනවශ්‍ය ළකුණක් ලබා ගැනීමට යාමෙන් දුවද්දී ඇවී ගියේය. නායක මහේල ජයවර්ධන යලිත් ළකුණු 5ක් පමණක් ලබා සිටියදී දැවී ගියේය. පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතරට යලිත් පැමිණි දිනේෂ් චන්දිමාල්ගේ ළකුණු 73 නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායම තුල මැදපෙල සවිමත් කිරීමට කිසිවෙකුටත් හැකි නොවීය. පන්දු වාර 40ක් නිමාවනවිට ශ්‍රී ලංකා පිතිකරුවන් සියලු දෙනාම දවා ගන්නට ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය.
                       විශිෂ්ට පන්දු ැවීමක නිරත වූ ක්ලින්ට් මැකේ කඩුළු 5ක් දවා ගනිද්දී මිචෙල් ජොන්සන් හා මිචෙල් ස්ටාක් කඩුළු දෙක බැගින් දවා ගැනීමට සමත් වූහ. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිලිප් රෝජස් තරගයේ වීරයා ලෙස නම් කෙරිනි.

No comments: