Monday, January 7, 2013

දැඩි සුළඟින් බදුල්ලේ නිවාස 400 කට හානි

බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ කිහිපයකට පෙරේදා (05 වැනිදා) බලපෑ තද සුළං හේතුවෙන් නිවාස 400 කට පමණ අර්ධ හානි වී ඇත.

මෙම නිවාසවල වහල සුළඟට ගසාගෙන යැම නිසා හානිවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ලාල් කුමාර මහතා ඊයේ (06 වැනිදා) පැවසීය.

රම්බොඩ, තවලන්තැන්න, ගැරඬිඇල්ල, කරගස්‌තලාව, කටුකිතුල, මල්හෑව, කොත්මලේ නව නගරය, කටාරන්දන, මල්දෙණිය, හල්දුම්මුල්ල, ආදී ගම්වල මෙසේ දැඩි සුළං තත්ත්වයක්‌ පැවතිණි.

ප්‍රදේශ රැසක ගස්‌ 300 ක්‌ පමණ සුළඟින් කඩාවැටීමෙන් විදුලි හා දුරකථන රැහැන්වලට දැඩිසේ හානි වී ඇත.

මෙම දැඩි සුළඟින් පීඩාවට පත්වූ පවුල්වලට සහන සැලසීමට සහ හානියට පත්වූ පොදු සේවාවන් යථා තත්ත්වයට පත් කිරීමට කොත්මලේ ප්‍රාදේශීය ලේකම් එච්. එම්. එච්. යූ. බී. හේරත් මහතාගේ උපදෙස්‌ මත කාර්ය මණ්‌ඩල සහ කොත්මලේ පොලිස්‌ ස්‌ථානාධිපති ඒකනායක මහතා ඇතුළු නිලධාරීහු ඊයේ (06 වැනිදා) දවස පුරා සේවයේ යෙදී සිටියහ.
 

No comments: