Monday, January 7, 2013

පුතුන් සිව්දෙනා තනිකර දමා දෙමාපියන් අතුරුදන් වෙලා


වයස අවුරුදු දෙකත් එකොළහත් අතර පිරිමි ළමුන් සිව්දෙනකු තනිකර දමා දෙමාපියන් ආගිය අතක්‌ නොමැති බව පේරාදෙණිය පොලිසියෙන් වාර්තාවේ.

ගෙලිඔය, පල්ලෙඅලුදෙණිය ෆ්ලවර් ටෙරන්ස්‌හි පදිංචිව සිටි මහින්දපාල මෙන්ඩිස්‌ සහ එම්. එන්. ඩී. කුමාරිහාමි යන දෙමාපියන් මෙම දරුවන් සිව්දෙනා මිත්තණිය වෙත තනිවම ත්‍රිරෝද රථයක නංවා යවා ඇති බවත්, එම දරුවන් රැකබලා ගන්නට තමන්ට හැකියාවක්‌ නොමැති බවත්, දරුවන්ගේ ආරක්‍ෂාව පතා පොලිසියට රැගෙන ආ බවත් දරුවන්ගේ මිත්තණිය පොලිසියට පැමිණිලි කොට ඇත.

පොලිසිය සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත්තේ මීට පෙර ද මෙම දරුවන් නිවසේ තනිකර දමා මෙම මව සහ පියා විවිධ ප්‍රදේශවලට ගොස්‌ කාලය ගත කරන බවයි. දරුවන් කුසගින්නේ දවස්‌ ගණන් නිවසේ කාලය ගත කරන බවත් අසල්වැසි නිවෙස්‌වලින් ආහාර පාන ඉල්ලා ගෙන තම කුසගිනි නිවාගන්නා බවත් හෙළි වී තිබේ.

අවුරුදු 11 ක්‌ වයසැති වැඩිමහල් දරුවා හා අවුරුදු 9 ක්‌ වයසැති දරුවා පාසලක පස්‌ පාගාවත් නැති බව මිත්තනිය පවසන්නීය.

11 හැවිරිදි වැඩිමහල් දරුවා තම බාල සොහොයුරන් තිදෙනා රැකබලා ගන්නා අතර, ඇතැම් අවස්‌ථාවල තම ආහාර කොටස පවා සහෝදරයන්ට බෙදාදී කුසගින්නේ සිටින බවද වැඩිමල් දරුවා වන මයන්ත දිනුරත්න පවසයි.

සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වූ පේරාදෙණිය පොලිසියේ ළමා කාර්යාංශයේ කාන්තා පොලිස්‌ සැරයන් (1380) ගීතිකා සහ කාන්තා පොලිස්‌ කොස්‌තාපල් (5503) නයනා යන නිලධාරිනියන් පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජාලිය හීංකෙන්ද මහතාගේ උපදෙස්‌ හා විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක බන්ධුලසේන මහතාගේ අධීක්‍ෂණය යටතේ මහනුවර අතිරේක මහෙස්‌ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා වෙත දරුවන් සිව්දෙනා ඊයේ (06) ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ගේ ආරක්‍ෂාව සඳහා පේරාදෙණිය ටිකිරි ළමා නිවාසයට බාරදෙන ලෙසට නියෝග කෙරිණි.

තවදුරටත් සිද්ධිය පිළිබඳ පරීක්‍ෂණ පවත්වා විමර්ශන වාර්තාවක්‌ ජනවාරි 10 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්‌ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

මෙම දරුවන් සිව්දෙනා වූයේ දිනමුණි දිව්‍යාංජන මයන්ත දිනුරත්න මෙන්ඩිස්‌ කරුණාරත්න (11) ඩී. ජී. ආර්. මෙන්ඩිස්‌ කරුණාරත්න (6), ඩී. එම්. ආර්. මෙන්ඩිස්‌ කරුණාරත්න (4) සහ ඩී. ජී. රශ්මින්ත මෙන්ඩිස්‌ කරුණාරත්න (2) යන අයයි.

No comments: