Monday, January 7, 2013

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිතගේ ඝාතනය පිටුපස දේශපාලනය ඇතිදැයි සොයයි

කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මන්ත්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක්‌ පැවතුනේද එසේ නැති නම් වෙනත් හේතුවක්‌ නිසාද යන්න සොයා බැලීමට රහස්‌ පොලිසිය විශේෂ පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

කාලයක්‌ තිස්‌සේ මන්ත්‍රීවරයාත් ඔහු සමඟ දේශපාලනයේ යෙදුණු එකම පක්‍ෂයේ දේශපාලනඥයකු සහ එම ආධාරකරුවන් අතරත් විශාල දේශපාලන කෝන්තර පැවැති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.

ඝාතනය සම්බන්ධයෙන් රහස්‌ පොලිසියේ සහකාර පොලිස්‌ අධිකාරිවරයකු යටතේ පොලිස්‌ කණ්‌ඩායමක්‌ පරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර පෑලියගොඩ අපරාධ කොට්‌ඨාසයේ තවත් පොලිස්‌ කණ්‌ඩායමක්‌ ද විශේෂ පරීක්‍ෂණයක්‌ සිදුකරති.

හසිත මඩවල මන්ත්‍රීවරයා පෙරේදා (05 වැනිදා) රාත්‍රි 7.30 ට පමණ කැලණිය වරාගොඩ බොන්වත්ත පාරේ පිහිටි සිය නිවස අසල මාර්ගයේ නවතා
තිබූ මිතුරකුගේ මෝටර් රථයක්‌ අසල හිතවතුන් දෙදෙනකු සමඟ කතාබහ කරමින් සිටියදී අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගෙන් අයකු විසින් මන්ත්‍රීවරයාට වෙඩි තබා ඇත.

මන්ත්‍රීවරයාට වෙඩි තබා ඇත්තේ මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් බව පොලිසිය පවසයි.

වෙඩි වැදුණු මන්ත්‍රීවරයා එම අවස්‌ථාවේදීම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ නමුත් ඒ වන විටත් ඔහු මියගොස්‌ සිට ඇත.

No comments: