Friday, January 4, 2013

බණ්ඩාරවෙල මහ නගර සභාවේ සේවකයෙක් පුහුණුවේ සිටි තරුණියක් පැහැර ගෙන යයි

බණ්ඩාරවෙල මහ නගර සභාවේ පුහුණුව ලබමින් සිටි 22 හැවිරිදි තරුණියක් ඊයේ (03) සවස එහි සේවය කරන කාර්‍යාල කාර්‍ය සහායකු විසින් පැහැර ගෙන ගොස් තිබේ. කාර්මික විද්‍යාල අධ්‍යාපනයෙන් පසු වැඩිදුර පුහුණුව සඳහා බණ්ඩාරවෙල මහ නගර සභාවට අනුයුක්ත කර සිටි මෙම තරුණිය විවාහ කර ගන්නට කැමැති බවට මෙම පුද්ගලයා විසින් තරුණියගේ දෙමව්පියන්ගෙන් විමසා ඇතත් ඔවුන් ඊට සතුටු වී නැත. තරුණිය බණ්ඩාරවෙල, පට්ටියගෙදර පදිංචිකාරියකි. නගර සභා සේවකයා බණ්ඩාරවෙල උතුරුකැබිල්ලවල පදිංචිකරුවෙකු බව පැවසේ. බණ්ඩාරවෙල මහ නගර සභාවේ සේවක සේවිකාවන් පවසන්නේ මෙම තරුණිය සභාවේ සේවකයා සමග කැමැත්තෙන් ගිය බවකි. නමුත් තරුණියගේ වැඩිමහල් සොහොයුරියගේ ජංගම දුරකතනයට අද (04) සවස 4ට පමණ කතා කොට තිබෙන මෙම පුද්ගලයා තර්ජනය කරමින් පවසා ඇත්තේ බණ්ඩාරවෙල පොලිසියේ පවරා තිබෙන පැමිණිල්ල ඉල්ලා අස්කර නොගතහොත් තරුණිය ගැන තිබෙන ආශාව අත්හැර ගන්නා ලෙසයි. මෙම අවස්ථාවේ දී මෙම පුද්ගලයා තරුණියට සිය ජංගම දුරකතනය ලබා දී ඇති අතර ඇය හඬමින් පවසා ඇත්තේ තමන්ගේ දෑත් දෙපා ගැට ගසා කාමරයක දමා තිබෙන බවයි. මොවුන් අතරේ සිදු වූ සංවාදය සහෝදරිය විසින් පටිගත කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර පොලිසිය සැකකාර පුද්ගලයාගේ නිවසට ගොස් ඇත. ඔහු නිවසට නොපැමිණි බව නිවැසියන් විසින් පවසා ඇත. මේ අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ඉහළ නිලතල දරන පුද්ගලයන්ගෙන් යම්,යම් අයට බලපෑම් එල්ල වන්නට පටන් ගෙන ති‍බෙන බව වාර්ථා වේ.

No comments: