Wednesday, January 2, 2013

භාරත ඝාතන නඩුවේ සැක 5 දෙනකුට ඇප


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් වසරකට අධික කාලයක්‌ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 16 දෙනා අතරින් පස්‌දෙනකු රුපියල් 25000.00 ක මුදල් හා රුපියල් ලක්‌ෂ 02 බැගින් වන ශරීර ඇප දෙකක්‌ යටතේ මුදාහැරීමට කොළඹ වැඩබලන මහෙස්‌ත්‍රාත් කණිෂ්ක විඡේරත්න මහතා ඊයේ (1 දා) නියෝග කළේය.

කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ඇප අයදුම්පත් හතක්‌ අතරින් සැකකරුවන් පස්‌දෙනකු මුදාහැරීමට ඉකුත් 21 දින මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතා ලබාදී තිබූ නියෝගයකට අනුව මෙම සැකකරුවන් මුදාහරින ලදී.

මෙසේ මුදාහරින ලද්දේ කොඩිප්පිලි ආරච්චිලාගේ ලංකා රසාංජන, මංජුල ප්‍රමෝද් හෙට්‌ටිආරච්චි, විඡේසූරිය හෙට්‌ටිආරච්චිලාගේ මාලක සමීර, හේවරාලගේ තරිඳු අසංක හා රාජ්පුරගේ ගාමිණී යන පස්‌දෙනායි.

පසුගිය පළාත් පාලන මැතිවරණ දින (2011 ඔක්‌තෝම්බර් 08) කොටිකාවත්ත, මුල්ලේරියාව, වල්පොල, හන්දියේ දී භාරත - දුමින්ද දෙපාර්ශ්වය අතර හටගත් ගැටුමකින් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනයට ලක්‌වීම හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදී තුවාල සිදුවීම යන සිද්ධීන්වලට අදාළව මෙම පැමිණිල්ල විභාගයට ගැනේ.

පැමිණිල්ල කැඳවූ අවස්‌ථාවේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතා සමග අධිකරණය හමුවේ පෙනී සිටි සහකාර පොලිස්‌ අධිකාරි ශානි අබේසේකර මහතා මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර දුමින්ද සිල්වා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධව නීතිපතිවරයා සමග පසුගිය 19 හා 20 යන දිනවලද සාකච්ඡාවක්‌ පැවැත්වූ නමුත් නීතිපති උපදෙස්‌ ලැබී නොමැති බව දන්වා සිටියේය.

මෙහිදී දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 16 දෙනා අතරින් 5 දෙනකු ඉහත කී ඇප කොන්දේසි යටතේ මුදාහැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ට විදේශගත වීම තහනම් කිරීමේ නියෝගයක්‌ද පැනවීය.

මේ අතර සෙසු සැකකරුවන් සියලු දෙනාම ජනවාරි මස 11 දින දක්‌වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

භාරත මන්ත්‍රීවරයාගේ ඝාතනයෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපුල් කුමාරප්පෙරුම භාරතගේ අරක්‌ෂක නිලධාරියකු වශයෙන් සිටි සැකකාර ආර්. ගාමිණී වෙනුවෙන් නීතිඥ ජගත් අබේනායක යන මහත්වරුද, සැකකාර දුමින්ද සිල්වා ඇතුළු සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, අනුජ ප්‍රේමරත්න හා වීරසේන රණහේවා යන මහත්වරුද පෙනී සිටියහ.
 

No comments: