Tuesday, March 12, 2013

ලෙබනන් ගිය ලාංකික කතකගේ සිරුරු කුණු බක්කියක

 ලෙබනනයේ ගෘහ සේවයට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ දෑත්, දෙපා සහ හිස කදින් කැබලි හයකට වෙන් කර ගෝනියක දැමූ මළ සිරුරක් අශ්රෆියා නගරයේ කුණු බක්කියක තිබී බාබරා පොලිසියට හමුවී තිබේ.

ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිසක් විසින් සිද්ධිය බාබරා පොලිසියට දැනුම්දෙනු ලැබීමෙන් පසු එසේ සොයාගත් මළ සිරුර දැනට ප්‍රදේශයේ 'සෙන්ජෝන්ස්' රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි නොනිල ආරංචිවලින් පැවැසේ.

මරණයට පත්ව ඇත්තේ හලාවත මහවැව තොඩුවාවේ පදිංචි තිස් දෙහැවිරිදි දිලීකා පෙරේරා නමැති අවිවාහක කාන්තාවකි. ඔවුන් ප්‍රකාශ කර ඇති අන්දමට තොරතුරු මෙසේය.

තොඩුවාවේ පදිංචිව සිටි දිලීකා පෙරේරා මීට වසර නවයකට පෙර ලෙබනනයේ ගෘහ සේවිකාවක වශයෙන් ගොස් තිබේ. ඇය එසේ ගොස් ඇත්තේ ලෙබනනයේ බීරූට් අගනුවරින් කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි ඩවුරා නගරයේ නිවෙසකටය.

ඇය නිවෙස් කිහිපයකද කාර්යාලයකද රැකියා කර ඇත. ඇය එරටදී සල්ලි පොලියට දුන් බවද ඇය නැවතී ඇත්තේ තවත් තරුණියන් හයදෙනකු සමඟ කුලියට ගත් කාමරයක බවද කියති. පසුගිය 2වැනි සෙනසුරාදා රාත්‍රි ඇය තම පවුලේ ඥාතීන්ට දුරකතනයෙන් කතා කර ඇති බවද පසුව ලෙබනනයේ අයකු සමඟ කතා කළ බවද කියති.

පසුදා (3දා) උදේ ඇය ඩවුරා නගරයේ සිට තවත් කිලෝමීටර් තුනක් දුරින් පිහිටි අශ්රෆියා නගරයට ගොස් ඇත. එසේ ගිය පසු ඇය ගැන කිසිදු තොරතුරක් ලැබී නැත. අනතුරුව ඇගේ මළ සිරුර 8වැනිදා කුණු බක්කියක තිබී හමුවී තිබේ.

තොඩුවාවේ පදිංචි ඇගේ පියා පනස් පස් හැවිරිදි පීටර් පෙරේරා මහතා බවද මව පනස් හැවිරිදි මරියා ප්‍රනාන්දු බවද දැනගන්නට ඇති අතර දිලීකා දරුවන් සිවුදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලාය. ශ්‍රී ලාංකිකයන් සිද්ධිය දිලීකාගේ පවුලේ ඥාතීන්ට දැනුම්දීමෙන් පසුව සිද්ධිය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට 122/1303යටතේ හා ලිපිගොනු අංක 1381යටතේ පැමිණිලි කර ඇති බව දැනගන්නට ඇත.

No comments: