Friday, March 29, 2013

මිහින්තලේ හොර කච්චේරියක් මාට්ටු




මිහින්තලය ප‍්‍රදේශයේ ව්‍යාජ කච්චේරියක් පවත්වාගෙන ගිය වයෝවෘද්ධ 68 හැවිරිදි පුද්ගලයෙකු හා 62 හැවිරිදි පුද්ගලයෙකු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් ලේඛන හා ව්‍යාජ රබර් මුද්‍රා විශාල ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත්වු එක් පුද්ගලයෙකු අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ කාර්යාල සහයෙකු වශයෙන් සේවය කර ඇති අතර අනෙක් පුද්ගලයා අනුරාධපුර නගරයේ පවත්වාගෙන යන ප‍්‍රසිද්ධ රක්‍ෂණ සමාගමක අලෙවි නියෝජිතයෙකු වශයෙන් කටයුතු කරන අයෙකි. සැකකරුවන්ගෙන් එක් අයෙකු අනුරාධපුර ඇලයාපත්තුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා වේලන්කුලම මිහින්තලය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත්තේ අනුරාධපුර මහනගරසභාවේ නාගරික කොමසාරිස් සම්පත් ධර්මදාස මහතා අනුරාධපුර ප‍්‍රදේශයභාර පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න මහතාට ලබාදුන් තොරතුරකට අනුවයි. අනුරාධපුර මහනගර සභාවේ සුලු සේවිකාවක් වශයෙන් සේවය කරන තැනැත්තියකගේ සැමියාගේ මව මිය යාමෙන් අනතුරුව නගර සභාවේ සුබසාධන සමිතියක් මගින් ලබාදෙන මුදලක් ලබා ගැනීමට සේවිකාව පැමිණ ඇති අතර ඇයට එම මුදල ලබා ගැනීමට අවශ්‍ය උප්පැන්න සහතික පරික්‍ෂා කර බැලීමේ දී එහි නම් වල අඩුපාඩු පැවතීම හේතුවෙන් සුබසාධන සමිතියේ නිලධාරීන් නිවරදි නම් සහිත උප්පැන්න සහතික රැගෙන එන ලෙස දන්වා ඇත. ඒ අනුව සුලු සේවිකාව මෙම පුද්ගලයන්ගෙන් රුපියල් 1500 ක මුදලක් ලබා දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකසාගෙන එය සුබ සාධන සමිතියට ඉදිරිපත් කර ඇත.

එම උප්පැන්න සහතික පරික්‍ෂා කර බලද්දී එහි අනු අංකයෙන් ව්‍යාජ එකක් බව හඳුනාගත් සුබ සාධන සමිතියේ නිලධාරීන් ඒ බව නාගරික කොමසාරිස්වරයාට දන්වා ඇත. ඒ අනුව නාගරික කොමසාරිස්වරයා පොලිස් අධිකාරිවරයාට කළ දැන්වීමෙන් අනතුරුව සුලු සේවිකාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇයගෙන් ප‍්‍රශ්න කර ඇලයාපත්තුව ප‍්‍රදේශයේ පදිංචි ලිපි ලේඛන සැකසු පුද්ගලයාව දුරකථන ඇමතුමක් ලබාදී අනුරාධපුර නගරයට ගෙන්වා සුක්‍ෂම ලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අනතුරුව මෙම ලේඛන වලට රජයේ නිලධාරීන්ගේ මුද්‍රා තබන පුද්ගලයා මිහින්තලය ප‍්‍රදේශයේ ඔහුට අයත් නිවසේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලග තිබී රබර් මුද්‍රා විශාල ප‍්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ඇත. හිටපු කාර්යාල කාර්ය සහයකයාගෙන් කල ප‍්‍රශ්න කිරිම් වලදී පවසා ඇත්තේ රබර් මුද්‍රා විනාශ කිරීම සඳහා ආයතනයෙන් ඉවත් කරන අවස්ථාවේ ඒවා සොරකම්කරගෙන ගොස් ළඟ තබාගත් බවයි.
සැකකරුවන් දෙදෙනා ළඟ තිබී ජාතික හැදුණුම්පත් වල පිටපත් ,උප්පැන්න ලේඛන, උප්පැන්න පිටපත්, මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තුමේන්තුවේ ලේඛන, ශ‍්‍රී ලංකා අධ්‍යාපන දෙපාර්තුමේන්තුවේ ලේඛන, ශිෂ්‍ය කාර්ය දර්ශන, උප්පැන්න සහතික ඉල්ලුම්පත්, ප‍්‍රතිඵල සටහන්, මොරටුව අතිරේක දිස්ත‍්‍රික් රෙජිස්ට‍්‍රාර් එස්. රණවීර හා අනුරාධපුර අතිරේක දිස්ත‍්‍රික් රෙජිස්ට‍්‍රාර් ආර්.පී ගුණසේන යන මහත්වරුන්ගේ නිළ මුද්‍රාල ඉසුරුමුණිය විදුහලේ විදුහල්පතිගේ නිළ මුද්‍රාව හා තිඹිරිගස්යාය කොළඹ හබරාදුව නුවර එළිය ඇතුලු ප‍්‍රදේශ ගණනාවක අංක සහිත රබර් මුද්‍රා තොගයක්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනා කාලාන්තරයක් තිස්සේ මෙම ජාවාරෙමී නිරත වි ඇති බවත් එක් අයෙකුට ලේඛනයක් නිකුත් කිරීම සදහා රුපියල් 1500 ක මුදලක් ලබාගෙන ඇති බවත් පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද(29) අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුනි.

No comments: