Wednesday, March 13, 2013

වේගයෙන් ආ ලොරි මාරයාට මහරගම දී කතක්‌ බිලි වෙයි ........මැතිසබේ ගබඩා භාරකරු රිය අනතුරකින් මියයයි......


මහරගම පමුණුව ප්‍රදේශයේදී (12 වැනිදා) සවස අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැනීම නිසා ඊට යට වූ කාන්තාවක්‌ එම ස්‌ථානයේදීම මියගොස්‌ ඇත.

විදුලි කණුවක්‌ද කඩාගෙන කාන්තාව ද යටකර ගෙන ධාවනය වූ ලොරි රථය මාර්ගය අසල පිහිටි නිවසකට ද හානි සිදුකරමින් නතර වී ඇත.

ඊයේ (12 වැනිදා) ප.ව. 2.00 ට පමණ සිදුවූ මෙම අනතුරින් ලක්‌බිම ඡායාරූප ශිල්පී තුෂාර අතපත්තු මහතාගේ නිවසට ද දැඩි අලාභහානි සිදු වී ඇත.

අනතුරින් මියගොස්‌ ඇත්තේ හොරණ පෝරුවදණ්‌ඩ අක්‌කර 7 පදිංචිව සිටි රණසිංහ ආරච්චිලාගේ ප්‍රේමලතා (අවු. 44) නමැති හකුරු වෙළෙදාමේ නිරත කාන්තාවකි.

මහරගම පමුණුව සිට ජයවර්ධනපුර රෝහල දෙසට ලොරි රථය ධාවනය කර ඇති අතර එහිදී ලොරි රථ රියෑදුරුට නින්ද යැම හේතුවෙන් අනතුර සිදු වී ඇතැයි පොලිස්‌ පරීක්‌ෂණවලින් හෙළි වී ඇත.

අනතුර සිදුවන අවස්‌ථාවේ ඡායාරූප ශිල්පී තුෂාර අතපත්තු මහතාගේ බිරිඳ හා දරුවා නිවසේ සිට ඇති අතර එහිදී ඔවුන්ට කිසිදු අනතුරක්‌ සිදු වී නැත.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය ජයවර්ධනපුර රෝහලේ තබා ඇති අතර මරණ පරීක්‌ෂණය අද (13 වැනිදා) සිදු කිරීමට නියමිතය.

සැකකාර ලොරි රථ රියෑදුරු හා ලොරි රථය පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී සිද්ධිය විස්‌තර කළ ඡායාරූප ශිල්පී තුෂාර අතපත්තු මහතා, දවල් 2.00 ට විතර මගේ බිරිඳයි දරුවයි නිවසේ සාලයේ ඉඳල තියෙනවා. දඩාස්‌ ගාලා විශාල ශබ්දයක්‌ ඇහිලා බිරිඳයි දරුවයි නිවසින් එළියට පැන තිබෙනවා. බලනවිට නිවසේ ඉදිරිපස නිදන කාමර පැත්තෙන් ලොරියක්‌ නිවස කඩාගෙන ඇවිත් තිබෙන බව දැක තිබෙනවා. වාසනාවට බිරිඳගෙයි දරුවගෙයි ජීවිතය බේරී තිබෙනවා යෑයි කීය.

මේ පිළිබඳව මහරගම පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. ඩබ්ලිව්. එම්. වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත රථ වාහන අංශයේ ස්‌ථානාධිපති පො.ප. රමේෂ් රත්නසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‌ෂණ පැවැත්වේ.
------------------------------------------------------------------
මැතිසබේ ගබඩා භාරකරු රිය අනතුරකින් මියයයි

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ගබඩා භාරකරු මීරිගම, ඇල්ලෙවෙල, බෝරුක්ගමුව ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රී 9.30 ට පමණ සිදු වූ රිය අනතුරකින් මියගොස් ඇත. මියගොස් ඇත්තේ ගස්පේ, බාඳුරාගොඩ පදිංචි තෙන්නකෝන් මුදියන්සේලාගේ ධර්මරත්න (54) නමැති සිවු දරු පියෙකි. පාර්ලිමේන්තුවේ ගබඩා භාරකරු ලෙස සේවය කරන ධර්මරත්න මහතා සිය රාජකාරි නිමවා තම කාර් රථයෙන් නිවෙස් බලා එමින් සිටියදී පල්ලෙවෙල, බෝරුක්ගමුව ප්‍රදේශය අසළ තිබූ බෝක්කුවක ගැටී පෙරැලී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පල්ලෙවෙල පොලිසිය කියයි. හදිසි මරණ පරික්ෂණය වතුපිටිවල මූලික රෝහලේදී පැවැත්වේ. පල්ලෙවෙල පොලිසිය මගින්න් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යයි.

No comments: