Wednesday, March 13, 2013

මර්වින් සිල්වාගෙන් සංඝයා වහන්සේලාට ඔවදනක් !

මහා සංඝරත්නය රටේ ජාතික ප්‍රශ්නවලදී පෙරමුණ ගත්තද කළකෝලාහළ ඇති කරගත යුතු නැති බව මහජන සබඳතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

සංඝයා වහන්සේලා හැදියාවෙන් යුක්තව කටයුතු කළ යුතු බවත්,ධර්මයෙහි හැසිරිය යුතු බවත් හෙතෙම කියා සිටියේ (13දා) කටාන,මඩම්පැල්ල ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේදී පැවති පාසල් උපකරණ හා පොත්පත් බෙදාදීමේ උත්සවයකට එක්වෙමිනි.භික්ෂුන් වහන්සේලා කතා කිරීමේදී ගිහියන් මෙන් කතා නොකළ යුතු බවත්,ආදර්ශවත්ව හැසිරිය යුතු බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.මහා සංඝරත්නය කිසියම් ප්‍රශ්නයකට අදාළව පෙරමුණ ගැනීමේදී මල්වතු-අස්ගිරි මහනායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා අනුව එක්සත්ව ක්‍රියා කළ යුතු බවත්, එසේ නොමැතිව බෙදී වෙන්වී නොයෙකුත් සංවිධාන ලෙස කතිකා ගොඩනැංවීම ධර්මයට අපහාසයක් බවත් සිල්වා මහතා පෙන්වා දුන්නේය.

මුස්ලිම් ජනයා මුල් කාලයේ ලංකාවට පැමිණීමේදී හලාල් ප්‍රශ්නයක් නොතිබුණු බවත්, බොහෝ කාලයක් සිංහ-මුස්ලිම් ජනයා සහයෝගයෙන් සමගියෙන් ජීවත්වූ බවත්, යළි ජාති භේද ආගම් භේද ඇති නොවිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

යළි ආගම් භේද ඇති කරන්නට කිසිවෙකු කටයුතු කරනවානම් , සමගිය සාමදානය නැති කරන්න කටයුතු කරනවානම් තමා අද දවසේ ඊට අනතුරු ඇඟවීම කරන බවත්,එහිදී තමාගෙන් කිසි ගැලවීමක් නොවන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

No comments: