Thursday, March 14, 2013

විහාරමහා දේවිය රූමත් කරන්න මහ පාරේ චිත්‍ර අඳී

කොළඹ විහාරමහා දේවි උද්‍යානය සංවර්ධනය කිරීමේ වැඩ සටහන යටතේ ඒ වටා තිබූ යකඩ වැට කපා ඉවත් කිරීම මේ දිනවල සිදුවෙමින් තිබෙන අතර එම වැටේ එල්ලා චිත්‍ර ප්‍රදර්ශනය කරමින් සිටි චිත්‍ර ශිල්පීන් චිත්‍ර ඇඳීම සහ අලෙවිය මහපාරේ තබාගෙන සිදු කරන අන්දම එහි ගිය අපට දකින්නට ලැබිණ. විහාරමහා දේවි උද්‍යානය පිටුපස නෙලුම්පොකුණ මාවත ආරම්භයේ සිට ජාතික පුස්තකාල වටරවුම දක්වා යකඩ වැටේ මෙම චිත්‍ර එල්ලා ප්‍රදර්ශනය කිරීම වසර දහයක් තිස්සේ පැවැත්විණ. “විහාර මහා දේවි උද්‍යානය සංවර්ධනය විය යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර කීර්තියක් උසුලන මෙම මාවතේ අප‍ගේ චිත්‍ර ඉදිරියේදීත් ප්‍රදර්ශනය කරන්නට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා සිටිනවා.” යැයි චිත්‍ර ශිල්පීන් පැවසූහ. ලෝකයේ දියුණු රටවල සිතුවම් වීදි තිබේ. ශ්‍රී ලංකාවේ එකම චිත්‍ර වීදිය මෙය බව එම කලාකරුවෝ පවසති. මෙම චිත්‍ර වීදිය අවට ජාතික කෞතුකාගාරය, කලාභවන, ජොන් ද සිල්වා සමරු රඟහල, නෙලුම් පොකුණ, නිදහස් චතුරශ්‍රය ඇතුළු සුප්‍රසිද්ධ වෙළෙඳ සංකීර්ණද පිහිටා තිබේ.

මේවා නැරඹීමට ඇදෙන විදෙස් කලාකරුවන් චිත්‍ර වීදියට පැමිණ චිත්‍ර මිලදී ගැනීම හරහා රටට යම් තරමක විදේශ විනිමයක් සහ ජාත්‍යන්තර කීර්තියක් අත්වන බව මෙම කලාකරුවෝ කියති. යුද හමුදාවට අයත් ට්‍රක් රථවලට යකඩ වැට පටවන ආකාරය සහ චිත්‍ර ශිල්පීන් මහ පාරේ චිත්‍ර අඳින අයුරු මෙහි දැක්වේ.

No comments: