Monday, March 11, 2013

ඔය හිස බැලීමෙන් මට කිසි පළක් නැහැ ---------------- දුමින්දගේ නීතිඥයින්ට විනිසුරු පවසයි

 භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ ප්‍රධාන සැකකරු, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ඇප ලබා ගැනීම පිණිස වග උත්තරකරුවන්ට අධිකරණයේ පෙනී සිටීමට ඉතා කෙටි දිනයක් ලබා දෙන ලෙස ඔහුගේ නීතිඥවරුන් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසූරිය මහතාගෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නඩුව මැයි 15 වැනි දිනට කල් තබන ලදී. දැනට නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වාට ඇප ලබා ගැනීම සඳහා වගඋත්තරකාර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට හා නීතිපතිවරයාට නොතීසි නිකුත් කරන ලදී. දුමින්ද සිල්වාගේ සැත්කම් කරන ලද හිසේ ආකෘතියක් නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා විසින් අධිකරණයට පෙන්වා එය නීතිපතිරවරයාගේ අතට පත් කිරීමට උත්සාහ ගත් විට විනිසුරුවරයා පැවසුවේ තමන් වෛද්‍යවරයෙකු නොවන නිසා “ඔය හිස බැලීමෙන් කිසි පළක් නොවන බවත්, ඔය හිස ඔබම තබා ගන්නා ලෙසත්”ය.

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා හා නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා දුමින්ද සිල්වා ගේ තත්ත්වය පැහැදිලි කර දී ඇප ලබා දීමට කෙටි දිනයක් ලබා දෙන මෙන් දිගින් දිගටම ඉල්ලා සිටියේය. තීන්දුවෙන් නොසතුටට පත් එම නීතිඥවරුන් සහ දුමින්දගේ පියා ජනමාධ්‍යවලට කිසිත් ප්‍රකාශ නොකර උසාවියෙන් පිටවී ගියහ. ‍ දුමින්ද සිල්වාට ප්‍රතිකාර කරන අවස්ථාවල බන්ධනාගාර නිලධාරින් වාට්ටු කාමරයේ සිටීම අවහිරයක් බව නීතිඥවරුන් පැවසූ විට විනිසුරුවරයා පවසා සිටියේ ප්‍රතිකාර කරන අවස්ථාවේ ඔවුන්ට මඳක් එළියට යාමට වෛද්‍යවරුන්ට ඉල්ලීමක් කළ හැකි බවයි.

No comments: