Friday, March 29, 2013

මන්ත්‍රි හසිත මරන්න ගිනි අවිය දී තිබෙන්නේ මර්වින්ගේ ලේකම් "සිංගපුර් සරත්" ගේ පුතාලු


hasi3කැලණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි හසිත කැලුම් මඩවල මහතාට වෙඩි තබා ඝාතනය කිරීමට යොදාගත් ගිනි අවිය ඝාතකයාට ලබාදී ඇත්තේ නඩුවේ හතර වැනි විත්තිකරු වන මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ලේකම්වරයකුව සිටි ‍ෙදාන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත්ගේ පුත්‍රයා වන ‍ෙදාන් ඉමේෂ් ඉෂාන් එදිරිසිංහ බවට කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (28දා) අධිකරණයට දැන්වීය.
රහස් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා වැඩිදුරටත් වාර්තාවක් ගොනුකර අධිකරණයට ඉදිරිපත් කරමින් මේ බව පැවැසීය.
මේ ඝාතනය සම්බන්ධව අංක 656/1, බෞද්ධ මධ්‍යස්ථාන පාර, සිංහාරමුල්ල, කැලණිය යන ලිපිනයෙහි පදිංචි එරන්ද ප්‍රසාද් ජයමාන්න මහතා ඉකුත් ජනවාරි 5 වැනි දින කළ පැමිණිල්ලකට අදාළව පොලිස්පතිවරයාගේ නියෝගය මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
මඩවල මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන මර්වින් සිල්වා ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරියකුව සිටි සුපීර් රංගන කුමාර පෙරේරා ඇතුළු පාර්ලිමේන්තු කටයුතු ලේකම්වරයකුව සිටි ‍ෙදාන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත්, සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කළ විදාන පතිරණලාගේ සමන් නිසාමන්, අශෝක හේමන්ත කුමාර පෙරේරා, විරසේකරලාගේ අශේන් චතුරංග යන සැකකරුවන් ඊයේ (28දා) බන්ධනාගාරය මගින් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
පළමුවැනි සහ තුන්වැනි සැකකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති ප්‍රකාශ පදනම් කරගෙන විමර්ශන සිදුකළ බවත් ඒ අනුව 2012.12.22 වැනි දින විදේශ ගතවී ඇති ‍ෙදාන් ඉමේෂ් ඉෂාන් එදිරිසිංහ නමැති අය විදේශ ගතවීමට පෙර මේ ගිනි අවිය පළමුවැනි විත්තිකරු වන සපීර් රංග කුමාර් පෙරේරා යන අයට ලබාදී ඇති බව අනාවරණය කර ගෙන ඇති බව රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කෙළේය.
පළමුවැනි විත්තිකරු වන සුපීර් රංග පෙරේරා මේ ඝාතනය ස¼දහා යොදා ගෙන ඇති අංක ඩබ්ලිව්.පී.එම්.ඩී. 7047 දරන බජාජ් ඩිස්කවරි වර්ගයේ යතුරුපැදියේ අංක තහඩු ඝාතනයට පැමිණෙන අවස්ථාවේ අංකය නොපෙනෙන ලෙසත් හඳුනා ගැනීමට නොහැකි වන ලෙසත් නවා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකණයට දැනුම් දුන්නේය.
දිවුරුම් ප්‍රකාශයක් සමඟ එම අංක තහඩු අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ මහතා රජයේ රස පරීක්‍ෂකවරයාගෙන් අංක තහඩු විකෘති වීම සම්බන්ධව වාර්තාවක් ලබාගැනීමට අධිකරණයේ අවසර ලබා ගත්තේය.
මේ නඩුවට අදාළ දැනට විදේශ ගතව සිටින හෝ ලංකාවට පැමිණ සිටින ඉමේෂ් ඉෂාන් එදිරිසිංහ නමැති අය ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය හෙයින් නැවත විදේශගත වීම වළක්වාලමින් තහනම් නියෝගයක් ලබාදෙන ලෙස රහස් පොලිස් නිලධාරි අධිකරණයෙන් කළ ඉල්ලීමට අධිකරණයෙන් අවසර ලැබිණි.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාජිකා ද සිල්වා මහත්මිය තම සේවාදායකයන්ගේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම සඳහා චෙක්පත් අස්සන් කිරීමට අධිකරණය මෙතෙක් ලබාදුන් සහනය අද දිනද ලබාදෙන ලෙස ඉල්ලා සිටියාය.
ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසරය ලබාදී රහස් පොලිසිය ඉදිරියේ චෙක්පත් අත්සන් කර අධිකරණයට ඒ පිළිබඳ වාර්තාවක් ලබාදීමට පොලිසියට නියම කෙළේය.
මීට පෙර නඩු වාරයේදී අත්සන් කළ චෙක්පත් වාර්තා රහස් පොලිසිය මගින් ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙළේය.
පළමුවැනි, දෙවැනි සහ තුන්වැනි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අර්ස කුලරත්න මහතා මේ නඩුවේ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කර පැමිණිල්ල ගොනුකරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියම කරන ලෙස කරන එකම ඉල්ලීම බව අධිකරණයට දැන්වීය.
ඒ අනුව නඩුවට අදාළ වාර්තා ලැබුණ විගස පැමිණිල්ල ගොනු කිරීමට රහස් පොලිසියට නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා සැකකරුවන් තවදුරටත් ලබන අප්‍රේල් 8 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට නියෝග කෙළේය. පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රංජිත් මුණසිංහ, පොලිස් සැරයන් ජේ.එම්. සෝමරත්න (15042) යන නිලධාරීහු පෙනී සිටියහ.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අර්ස කුලරත්න මහතා, තේජාන් කෝරලගේ, කැලුම් කුමාරසිංහ සහ රාජිකා ද සිල්වා ඇතුළු නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ උපුල් දේශප්‍රිය, සිසිර ජයකොඩි සහ දේශාල් පෝල් යන නීතිඥ මහත්වරු පෙනී සිටියහ.

No comments: