Saturday, March 9, 2013

කොම්පඤ්ඤ වීදියේ සිදුවූ කෝටියක මංකොල්ලය පොලිසියේ වැඩක්..?

මීට මසකට පමණ පෙර පසුගිය පෙබරවාරි 12 දා දොලහමාරට පමණ කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ නවලෝක රෝහල ඉදිරිපිට ඇති සම්පත් බැංකු ශාඛාවෙන් අංක 65-5615 දරණ කාර් රථයෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් මිලියන 10 ක් එනම් කෝටියක් බැංකුවෙන් මාරු කර ගත්තෝ ය.

මුදල් රැගත් ඔවුහු තම කාර් රථයෙන් ගමන් කරද්දී නවම් මාවතයේදී පොලිස් රථවාහන රාජකාරි නිළ ඇඳුමට සමාන ඇඳුමින් සැරසුනු පුද්ගලයකු කාර් රථය නවතා ඇත. ඒ සමගම අසලට පැමිණි ලෑන්ඩ්රෝවර් ඩිෆෙන්ඩර් ජීප් රථයකින් පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු ඉන් බැස කාර් රථයේ සිටි පුද්ගලයන් දෙදෙනා එලියට ඇද එම ඩිෆෙන්ඩර් රථයට නංවාගෙන කාර් රථයද පැහැරගෙන කෝට්ටේ ප්‍රදේශයට රැගෙන ගොස් ඔවුන් සතුව තිබූ මුදල් කොල්ලකා පුද්ගලයන් දෙදෙනා ප්‍රදේශයේ අතහැර දමා කාර් රථයද රැගෙන පලා ගියහ.

කොළඹ කොම්පඤවීදියේ සම්පත් බැංකුවෙන් රුපියල් කෝටියක් රැගෙන යද්දී මහ දවාලයේ පොලිස් වෙසින් ඩිෆෙන්ඩර් රියකින් පැමිණ හුනුපිටියේදී මං කොල්ල කෑ කණ්ඩායමේ මහ මොළකරු ජනාධිපති සහකාර ලේකම් වරයෙකු බවත් මංකොල්ලය සිදුකළේ පොලිසියේම ඉහල නිලධාරීන් පිරිසක් බවත් මේ වන විට තොරතුරු හෙළි වී ඇති අතර පොලිසියේ පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත. ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන ජනාධිපති සහකාර ලේකම් වරයාගේ සම්බන්ධය යට ගැසීමට යන බව වාර්තා වේ.

කොටුව පොලිසියේ රථවාහන අංශයේ පොලිස් ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක‍ෂක ආර්.ඩී.බී. අධිකාරි ද අත් අඩංගුවට ගත් පිරිස අතර වේ. ඇමැති ප්‍රියංකර ජයරත්නගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් පරීක‍ෂක ආර්.එම්. මහේෂ් ද සිල්වා ද අත් අඩංගුවේ පසුවේ. අත් අඩංගුවට ගෙන ඇති තවත් අයෙක් වන්නේ අපරාධ පරීක‍ෂණ දෙපාර්තමේන්තුවේ (සීයිඩී) පොලිස් කොස්තාපල් වරයෙකි.

මං කොල්ලයේ මහ මොළකරු වන ජනාධිපති සහකාර ලේකම්වරයා සිද්ධියෙන් සැඟවීම පිණිස මං කොල්ලය සඳහා පැමිණි ජනාධිපති සහකාර සම්බන්ධීකරණ ලේකම්වරයා භාවිතා කරන කළු පැහැති ඩිෆෙන්ඩර් රථය හඳුනාගත හොත් මරා දමන බවට පැමිණිලි කරුට ඊයේ රාත්‍රී 8.40 ට මරණ තර්ජනය කර ඇත. ඉන්පසු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඩිෆෙන්ඩර් රථය හඳුනාගත නොහැකි යයි කට උත්තරයක් ලියා ගෙන ඇත. නමුත් පළමු පැමිණිල්ලේ දී ඩිෆෙන්ඩර් රථය හඳුනාගත හැකි යයි පැමිණිලි කරු සඳහන් කර තිබේ. මංකොල්ලය සිදුකළ ඩිෆෙන්ඩර් රථය ජනාධිපතිගේ වාහන සංචිතයට අයත් රථයක් බව මේ වන විට හඳුනාගත්තද කාරණය වසන් කිරීමට ඉහලින්ම අණකර තිබේ.

--------------------

No comments: