Saturday, March 9, 2013

සුළි සුළඟින් හානි සිදුවූ හැටි


ගම්පහ සහ බණ්‌ඩාරගම යන ප්‍රදේශවලට (08 වැනිදා) සවස ඇති වූ ධාරානිපාත වර්ෂාව සහ සුළි සුළඟින් නිවාස එකසිය හතළිහකට පමණ හානි සිදුවිය.

ගම්පහ, අත්තනගල්ල, බෙම්මුල්ල, පිටියේගෙදර, කිsරිඳිවිට, උඩුගම්පොල යන ප්‍රදේශවලට මෙන්ම බණ්‌ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ග්‍රාමසේවා වසම් හයකට මෙම වැසි සහ සුළි සුළං බලපෑ අතර එම ප්‍රදේශයන්හි විශාල ප්‍රමාණයේ ගස්‌ රැසක්‌ ද කඩා වැටී තිබිණි.

ගම්පහ ප්‍රදේශයේ හානියට පත් නිවාස සංඛ්‍යාව සියයක්‌ වන අතර බණ්‌ඩාරගම ප්‍රදේශයේ නිවාස 40 කට පමණ ද හානි සිදුවිය.

පිටියේගෙදර ප්‍රාථමික විදුහලේ විදුහල්පති නිලකාමරයට අකුණක්‌ වැදීමෙන් අලාභ හානි සිදු වී තිබිණි. ප්‍රදේශයේ අධිබලැති විදුලි කණු කඩාවැටීම නිසා ප්‍රදේශ කිහිපයකටම විදුලි සැපයුම අඩාල වී තිබූ අතර ගස්‌ කඩා වැටීම නිසා ගමනාගමන කටයුතු ද පැය කිහිපයක්‌ ඇනහිටියේය. අලාභ හානියට පත් නිවාස කිහිපයකම වහළ සුළඟට ගසාගෙන ගොස්‌ තිබිණි.

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ලේකම්වරයා, ගම්පහ ගිනි නිවන ඒකකය සහ ගම්පහ නගරාධිපතිවරයා, ගම්පහ පොලිසිය ඇතුළු කණ්‌ඩායම් මහ වැසි නොතකමින් සහන කටයුතුවල නිරත වූහ.

හානියට පත් බණ්‌ඩාරගම, වල්ගම, අළුබෝමුල්ල, රේරුකාන, බද්දේගොඩ යන ප්‍රදේශවල ජනතාවට සහන සැලසීම සඳහා ප්‍රාදේශීය ලේකම් ඒ. එම්. ටී. සෙනරත් මහතා ප්‍රමුඛ පිරිස්‌ පියවර ගත්හ

No comments: