Saturday, May 4, 2013

Thungasiri speaks his experience in Saudi...

වෙන රටකට ගිහින් අපේ ආගම දවසකට වරක්‌ හෝ අදහන්න අයිතියක්‌ නැද්ද?
- සෞදියේදී බුදුන් වැන්දැයි කස පහර 200 ක්‌ කෑ තුංගසිරි කතා කරයි



"ඕනෑම මිනිසකුට අයිතිවාසිකමක්‌ තිබෙනවා තමන්ගේ ආගම ඕනෑම රටකට ගිහින් අදහන්න. සෞදි අරාබියාවේ ඉන්න මුස්‌ලිම් අය වන්දනා කරන්න ඕන අවස්‌ථා පහ ඕනෑම රටකට ගිහින් කරනවා. ඉතිං අපිට අපේ ආගම වෙනත් රටකට ගිහින් දවසකට එක වරක්‌ හෝ අදහන්න අයිතියක්‌ නැද්ද? එහෙම අයිතියක්‌ නැති ම්ලේච්ඡ රටකද මේ ලංකාවේ අය සෞදි අරාබියාවේ ගිහින් උන්ගේ බැල මෙහෙවරකම් කරන්නේ...."

සෞදි අරාබියාවේදී බුදුන් වැන්දා යෑයි කස පහර 200 ක්‌ හා වසරක සිර දඬුවම් විඳ මෙරටට පෙරේදා (02 වැනිදා) පැමිණි පදියතලාව, කැලේළිඳ වතුයාය, අංක 164 ඒ පදිංචි පී. පී. තුංගසිරි මහතා (39) දැඩි වේදනාවකින් යුතුව පැවැසීය.


සෞදි අරාබියාවේ රැකියාවට ගොස්‌ හිස්‌ අතින්ම පැමිණි තුංගසිරි මහතා පදියටතලාවේ නිවසට පැමිණීමත් සමඟ ඔහුගේ බිරිඳ වන සජිනි සමරක්‌කොඩි මහත්මියත්, (36), සාවින්දි මලිෂා (5) දියණියත්, රෂ්මික මල්ෂාන් (9) පුතුත් ඇතුළු පවුලේ ඥාතීහු ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

සිය දරු දෙදෙනා තුරුළු කරගත් තුංගසිරි මහතා මෙසේද කීය.

"මා සෞදි අරාබියාවේ නිවසක රියෑදුරු රැකියාව සඳහා ගියා. මා බෞද්ධාගමිකයෙක්‌ හැටියට නිතර බුදුන් අදහන කෙනෙක්‌. ඒ පිහිට හැර අපිට වෙනත් පිහිටක්‌ නෑනේ. මේ නිසා මා නැවතී සිටි ගෙදර මගේ කාමරයේ අල්මාරිය තුළ බුදුරජාණන් වහන්සේගේ රූප තුනක්‌ තබා තිබුණා. මා එයට පහන් පත්තු කරලා වැන්දා. මගේ අතේ පිරිත් නූල් ද ගැටගහලා තිබුණා. 2012.05.17 වැනිදා මා සෞදි අරාබියේ වෙළෙඳසලක්‌ අසල ඉන්න කොට ඒ රටේ ආගමික පොලිසියේ (මුතව්වෝ) නිලධාරින් පිරිසක්‌ මාව පරීක්‍ෂා කළා. පස්‌සේ ඔවුන් මගේ ජංගම දුරකථනය පරීක්‍ෂා කළා. මගේ ජංගම දුරකථනයේ ඩිස්‌ ප්ලේ එකේ තිබූ බුදු රූප ගැන ඇහුවා. පස්‌සේ මම ඒවා නිකං දාලා තිබෙන්නේ කිව්වා. අනතුරුව ඒ අය මාව ඔවුන්ගේ පොලිස්‌ ස්‌ථානයට රැගෙන ගියා."

"අනතුරුව ඒ අය මා නැවතී සිටි ස්‌ථානය ද පරීක්‍ෂා කිරීමට රැගෙන ගියා. ඒ අය සියල්ල පරීක්‍ෂා කර අවසානයේදී මගේ අල්මාරිය පරීක්‍ෂා කළා. එහිදී බුදු රූප තුනම ඒ අය දැක භාරයට ගත්තා. පසුව ඒ අය කිව්වා මේ රටේ නීතිය හැටියට ඔබ කර ඇත්තේ වරදක්‌ බව. ඉන් පසුව ඔවුන් මාව පොලිසිය වෙත රැගෙන ගියා. මේ රටේ ඉන්න අයට අන්‍යාගමක්‌ අදහන්න බැහැ. මේ වගේ රූප තියාගෙන වඳින්නත් බැහැ. ඔබ කර ඇත්තේ විශාල වරදක්‌. පසුව ඔවුන් මගෙන් බලහත්කාරයෙන් ලියූ පිටපතකට මගේ ඇඟිලි මුද්‍රව තබා ගත්තා. එහි මොනවා සඳහන් වෙලා තිබුණා ද කියා මා දන්නේ නැහැ."

"ඉන් පසු ආගමික පොලිසිය විසින් මාව ඒ රටේ පොලිසියට භාර දුන්නා. මා එහි කූඩුවේ දවස්‌ 14 ක්‌ සිටියා. පුදුම දුකක්‌ වින්දේ. මං මේ ගැන දෙමාපියන්ට ද දැනුම් දුන්නා. එරට අධිකරණයේ නඩු වාර කීපයක්‌ සඳහා ද පොලිසිය මාව අරගෙන ගියා. පසුව මට එම අධිකරණය මගින් කස පහර 200 ක්‌ හා වසරක සිර දඬුවම් නියම වුණා. අනතුරුව මා ඒ දුකත් වින්දා. ඒ සියල්ල විඳලා ආ මට මෙතරම් සැනසීමක්‌ ලැබුණේ බුදුන් ඇදහූ නිසයි. උන්වහන්සේ නිසයි මගේ ජීවිතේ බේරුණේ."

"නමුත් මම ගැන වගකිවයුතු විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය තබා ආණ්‌ඩුවවත් සොයා බැලුවේ නැහැ. මම ගැන සොයා බැලුවේ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහත්මයා විතරයි. එතුමා තමයි මා ගැන මේ රටට මාධ්‍ය හරහා දැනුම් දුන්නේ. එතුමාට පින් සිද්ධ වෙන්න ඕන."

"සිරදඬුවම් විඳ නිදහස්‌ වෙලා නැවත මා මේ රටට ආවේ මගේ ගෙදරින් එවපු මුදල් වලින්. විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය අපි ගැන සැලකිල්ලක්‌ දැක්‌වූවේ නැහැ."

"එහෙම දුක්‌ විඳලා ලංකාවට ආව එක නිවන් ගියා වගෙයි. මම බුදුන් වැඳලා පිහිට පතපු නිසා තමයි මට ලංකාවට නැවත පණ පිටින් එන්න පුළුවන් වුණේ."

No comments: