Friday, May 10, 2013

Age limit of foriegn employment is increased...

ගෘහ සේවයට යන කතුන්ගේ වයස් සීමාව ඉහළ දමයි
ඉකුත් 1දා සිට ක්‍රියාත්මක බව විදේශ සේවා කාර්යාංශය කියයි ..........


සෞදියට 25යි
මැද
පෙරදිගට 23යි සෙසු රටවලට 21යි

ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සඳහා යන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස් සීමාව වහාම ක්‍රියාත්මක පරිදි සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා‍ නියුක්ති කාර්යාංශය තීරණයකර ඇත.

ඒ අනුව මේ වැඩපිළිවෙළ මේ මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වන බවද සෞදි අරාබියාව සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ගෘහ පාලිකාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 25ක් සහ සෙසු මැදපෙරදිග රටවල් සඳහා අවම වයස් සීමාව අවුරුදු 23ක් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසීය. ඊට අමතරව ලෝකයේ සෙසු රටවල සේවය සඳහා පිටත්ව යන කාන්තාවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 21 ක් බවද ඒ මහතා කීවේය.

ගෘහ පාලිකාවන් වශයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස ප්‍රතිපත්තියක් වශයෙන් ඉහළ නැංවීමට තීරණය කර තිබෙන බව පැවසූ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අඩු වයසින් ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සඳහා පිටත්ව යාම සහ වඩා හොඳ රැකියා අවස්ථාවක් ලබා දීම එහි මූලික අරමුණ බවද කීය.

මේ අතර ඒ මහතා සදහන් කළේ පසුගිය 2010 වර්ෂය වනවිට විදේශ රටවල ගෘහ සේවයට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස අවුරුදු 21ක්ව පැවැති බවද හෙතෙම සිහිපත් කළේය.

විදේශ රැකියාවට යන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අවම වයස් සීමාව ඉහළ නැංවීමට මහින්ද චින්තන වැඩපිළිවෙළ අනුව රජය පියවර ගෙන තිබෙන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ සහ විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි මේ වඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවද ඒ මහතා කීය.

විදේශ රැකියාවලට යොමුවන ශ්‍රී ලාංකික කාන්තාවන් ගෘහ සේවිකාවන් වශයෙන් නොව ගෘහ පාලිකාවන් වශයෙන් යොමු කිරීමට විධිමත් පුහුණුවක් ලබා දීමට විදේශ සේවා‍ නියුක්ති කාර්යාංශය පියවර ගෙන තිබෙන අතර මේ වනවිට එම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාත්මක වන බවද හෙතෙම සදහන් කළේය.

කාන්තාවන් පුහුණු කිරීමට අමතරව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගන්නා විදේශ රටවල් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද එම කාර්යාංශය පියවර ගෙන ඇත.

මේ අතර ඒ මහතා පැවසූවේ සෞදි අරාබියාවේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් එරට දී සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙන බවත් ය‍.

මේ වනවිට ඒ සම්බන්ධ‍ව සාකච්ඡා සිදුවන බවත්ය. තවද එය ඉදිරියේ දී සාර්ථකව ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.

No comments: