Friday, May 3, 2013

No Chance for Child, but charged Rs.25000 from Parents...

රු. 25,000ක් අරන් දරුවා පාසලට නොගත්තැයි මව පාසල අසල උපවාසයක



නාත්තණ්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයට තම දරුවා ඇතුළත් කරගැනීම සඳහා තමාගෙන් රුපියල් 25,000ක මුදලක් ලබාගෙන දැනට මාස පහක් ගතවී ඇතත් දරුවා පාසලට ඇතුළත් කරනොගත් බව පවසමින් මව සිය පුතු සමඟ එම පාසල ඉදිරිපිට ඊයේ (02දා) විරෝධතාවක නියැළී සිටියහ.උපවාසයේ නිරතව සිටින එන්. පුණ්‍යා මල්කාන්ති මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ පැවැසුවාය.

මගේ දරුවා පාසලට ඇතුළත් කරගන්න කියලා විදුහල්පතිවරයා රුපියල් 25,000ක් ගත්තා. පාසල් නිල ඇඳුම මසාගන්න කියලත් කිව්වා. සම්මුඛ පරීක්‍ෂණයෙන් දරුවා ලකුණු 96ක් රැගෙන තිබුණත් දැන් කියනවා ලකුණු 86යි තියෙන්නෙ කියලා. මගේ ලිපිනයේ මර¼දපාර කියලා තියෙන නිසා ලකුණු 10ක් කපලා.

මරඳේ පාසල් දෙකක් තියෙනවා. එහෙත් මට කිට්ටු පාසල නාත්තණ්ඩිය ධම්මිස්සර විදුහලයි. ළමයින් ඇතුළත් කරගැනීමේදී දුරබැහැර ළමයින්ව ඇතුළත් කරගෙන තියෙනවා.
මම මේ පිළිබඳව හලාවත අධ්‍යාපන කාර්යාලයට දැන්නුවා. නිලධාරීන් පැමිණ පරීක්‍ෂණයක් කළා. ඇමැතිතුමාටත් මේ පිළිබඳ පැමිණිලි කළා. විදුහල්පතිවරයා අල්ලස් ගන්නවා කියලා. ඒ වෙලාවේදී ඇමැතිවරයාත් කිව්වා අල්ලස් දෙපාර්තමේන්තුවට දන්වන්න කියලා.

මට ධම්මිස්සර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයෙන් ලිපියක් එව්වා ධම්මිස්සර විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පැවැත් වූ 'දම් ආසි' සැණකෙළියේ සංගීත ප්‍රසංගයට ගායන ශිල්පියෙක් ලබාගැනීමට අනුග්‍රහයක් ලෙස රුපියල් 25,000ක මුදලක් ලබාදීම පිළිබඳ ස්තූතිවන්ත වන බවත් එම මුදල ආපසු ලබාදීමට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලෙසත් දක්වලා.
මේ අතරේ නීතිඥ මහත්මයෙක් මඟින් මගෙන් රුපියල් ලක්‍ෂ 50ක වන්දියක් ඉල්ලලා එන්තර වාසියක් එවලා තිබෙනවා. මං විදුහල්පතිවරයාට හා පාසලට අපකීර්තියක් ගෙන එන ආකාරයේ ප්‍රකාශ කරනවා කියලා. දැන් මාව බියවද්දලා මේ ප්‍රශ්නය මඟහරින්න උත්සාහ කරනවා. මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලන්නේ මගේ දරුවාට සාධාරණය ඉටුකරන්න කියලයි.

මගේ දරුවාව පාසලට ඇතුළත් කරගන්න ඕනෑ නිසයි මම රුපියල් 25,000ක් දුන්නේ. එසේ නැතිනම් කිසිම හේතුවක් නැතිව ආදි ශිෂ්‍ය සංගමයට රුපියල් 25,000ක් දෙන්නෙ කුමකටදැයි ඇය ප්‍රශ්න කරයි.
මේ ගැටලුව පිළිබඳ ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන්ද විමසීමක් කළ අතර තමන් අල්ලස් නොගත් බවත් මල්කාන්ති මහත්මිය එම මුදල ආදි ශිෂ්‍ය සංගමයට කරපු පරිත්‍යාගයක් බවත් හෙතෙම සඳහන් කළේය.

මෙය කිහිප දෙනකුගේ වුවමනාවකට සිද්ධවන දෙයක් බව හෙතෙම අවධාරණය කළේය.
මේ ගැටුම සමථයකට පත්කිරීම සඳහා රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය දයාශි්‍රත තිසේරා මහතාද පැමිණ සිටියේය.

No comments: