Friday, May 24, 2013

Wesak in Colombo...

කොළොම් පුරේ තොරන් බැඳේ මෙයයි මිතුර කතන්දරේ ......

කොළොම්පුර සිව්දෙස තැනින් තැන මේ වන විටත් වෙසක් තොරණ ඉදිවෙමින් පවතී. ඇතැම් තොරණ නිර්මාණය කර අවසන් වී ඇත. වෙසක් සිරියෙන් හැඩවෙන කොළොම්තොට වතගොත සොයා යන ගමනේ දී අපි මෙවර කොළොම්පුර ඒකාලෝකමත් කරන තොරණ පිළිබඳ ඔබව දැනුම්වත් කරන්නෙමු. ශ්‍රී ලංකාවේ පැරණිම තොරණ වශයෙන් සැලකෙන තොටළඟ තොරණ මෙවරත් වෙසක් පුන් ‍පොහෝ දින සිට දින 08ක් පුරා මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් විවෘතව පවතී. මෙම තොටළඟ තොරණ මුලින්ම ප්‍රදර්ශනය කර ඇත්තේ 1955 වර්ෂයේදීය. ඓතිහාසික තොටළඟ තොරණ නිර්මාතෘවරයා වන්නේ විල්බට් පෙරේරා මහතායි. එකල එම තොරණ සඳහා ඒ මහතා මුදලින් රුපියල් 7500ක් වැය කර තිබේ. මහා බද්‍ර කල්ප විනාශය පිළිබඳ කතා පුවත එදා තොරණෙන් ප්‍රදර්ශනය කර ඇත. එවකට තොරණ චිත්‍ර ශිල්පියාට විල්බට් පෙරේරා මහතා රුපියල් දෙදහස් පන්සියක්ද දී ඇත. ඒ පිළිබඳ අප සමග කතා බහට එක්වූ විල්බට් පෙරේරා මහතාගේ පුත් අනුර පෙරේරා මහතා සිය මතකය ආවර්ජනය කරමින් මෙසේ පැවසීය. ආරම්භයේ දී තාත්තා මේ තොරණට මුදල් වැය කළේ පුද්ගලික මුදල්වලින් . තාත්තට ඒ දවස්වල හොඳට සල්ලි තිබුණා. මේ පළාතේ හුඟක් දේ‍පොළවල අයිතිකරුවන් වුණේ අපේ තාත්තායි. මහා භද්‍ර කල්ප විනාශය කතා පුවත ඇතුළත් තොටළඟ ඉදි වූ මුල්ම තොරණ උසින් අඩි අසූ පහක් විය. විදුලි බුබුළු තිස් පන් දහසකින් ආලෝකමත් වී ඇත.එම තොරණ කතාව පටිගත කිරීම කරුණාරත්න අබේසේකර මහතා අතින් විය. මීට අමතරව විදුලි ආලෝක ශිල්පියා ලෙස කටයුතු කර ඇත්තේ ආරියදාස මහතාය. 61 වෙනි වරටත් පවත්වන තොටළඟ තොරණ මෙවර කතා තේමාව වී ඇත්තේ යමා මහ පෙළහර පෑමේ කතා පුවතයි. මෙහි චිත්‍ර නිර්මාණය චිත්‍ර ශිල්පී පුෂ්පා නන්ද දෙණිපිටිය මහතා විසිනි. කටු සැලසුම් ශිල්පියා ලෙස කටයුතු කරන්නේ තිලංග පීරිස් මහතාය. ඔහු තොටළඟ තොරණ ආරම්භක කටු සැලසුම් ශිල්පී කොල්වින් පීරිස් මහතාගේ පුත්‍රයෙකි. උස අඩි 60ක් පළල අඩි 60 ක් වන මෙම තොරණ විදුලි බුබුළු 45,000 කින් ආලෝකමත් කෙරේ. තොටළඟ තොරණට අද බර පැන දරන්නේ තොටළඟ ශ්‍රී වෛශ්‍යාලෝක සමිතියයි. පෑලියගොඩ නගරයේ ඉදිවෙන පෑලියගොඩ නවලෝක තොරණද දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි. 57 වෙනි වරටත් පවත්වන පෑලියගොඩ තොරණ මෙවර කතා පුවත “සමනල වරුණ” ලෙස නම් කර ඇත. සරත් කුමාර වීරසිංහ මහතාගේ ඉදිරිපත් කිරීමක් වන මෙම තොරණේ විදුලි රටා නිර්මාණය නිමාල් ප්‍රනාන්දු විසිනි. එමෙන්ම චිත්‍ර නිර්මාණය පුෂ්පානන්ද දෙණිපිටිය මහතා විසිනි. කතා පිටපත බණ්ඩාර ඇහැලියගොඩ මහතා රචනා කර ඇත. කිරිබත්ගොඩ සුහද එක්සත් වෙළෙඳ සංගමය මගින් ඉදිරිපත් කරන තොරණ මෙවර කතා වස්තුව වී ඇත්තේ කෝසල මල්ලිකා කතා පුවතයි. මීට අමතරව කොසොල් රජු දුටු සිහින 16න් කිහිපයකුත් එහි ඇතුළත් කර ඇත. ශ්‍රී කල්‍යාණ වෛශාඛ්‍ය සමිතිය මගින් 10 වෙනි වරටත් ඉදිරිපත් කරන තොරණට කතා පුවත වී ඇත්තේ සුජාතා ජාතකයයි. කැලණිය විහාරස්ථානය ඉදිරිපිට නිර්මාණය කෙරෙමින් පවතින මෙම තොරණ උස අඩි 65කි. පළල අඩි 60කි. විදුලි බුබුළු 23,000 කින් එය ආලෝකමත් කෙරේ. දින 08ක් පුරා ප්‍රදර්ශනය කිරීමට නියමිත මෙම තොරණ චිත්‍ර නිර්මාණ උපාලි වීරවර්ධන මහතාගෙනි. කතා පිටපත මර්වින් සේනාරත්න මහතා විසිනි. දෙමටගොඩ එක්සත් වෙළෙඳුන්ගේ වෛශාඛ්‍යදාන සමිතිය මගින් 37 වැනි වරටත් ඉදිරිපත් කරන තොරණට කතා පුවත වී ඇත්තේ ශාන්තිවාදී ජාතක කතා පුවතයි. මෙහි කතා පිටපත නිෂ්පාදන ය කිවිපති කලා කීර්ති මර්වින් සේනාරත්න මහතා විසිනි. සැලසුම් නිර්මාණය සහ චිත්‍ර නිර්මාණය ආනන්ද ජයලත් විසිනි. විදුලි ආලෝක රටා නිර්මාණය සරත් ගාල්ලගේ විසිනි. බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව ගංගාරාමය විහාරස්ථානය අසල ඉදිවෙන තොරණට කතා තේමාව වී ඇත්තේ රාජෝවාද ජාතකයයි. 5 වෙනි වරට ඉදිරිපත් කරන මෙම තොරණ උස අඩි 50 . දිග අඩි 50 කි. විදුලි බුබුළු 35,000 කින් ආලෝකමත් කෙරේ. මෙහි කතා පිටපත මර්වින් සේනාරත්න විසිනි. කලා සැලසුම් හා චිත්‍ර නිර්මාණ රොෂාන් බි සෝමධීර විසිනි. විදුලි රටා ශාමරත්න අලගිවන්න විසිනි. මැනිං වෙළෙඳ ‍පොළ ශ්‍රී සම්බුද්ධ ජයන්ති වෛශාඛදාන සමිතිය මගින් 51 වරටත් ඉදිරිපත් කරන කොටුව මැනිං වෙළෙඳ‍පොළ අසල ප්‍රදර්ශනය කෙරෙන තොරණ කතා පුවත බවට පත්ව ඇත්තේ මහා භද්‍ර කල්ප විනාශය පිළිබඳ කතා පුවතයි. මෙහි සැලසුම් හා චිත්‍ර නිර්මාණය කලා ශිරෝමණී, ලංකා පුත්‍ර පුෂ්පා නන්ද දෙණිපිටිය මහතා විසිනි. කතා පිටපත මර්වින් සේනාරත්න විසිනි. කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රදර්ශනය කෙරෙන දර්ශනීය වෙසක් තොරණ පුරා දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ නිර්මාණ දායකත්වය සපයන පුෂ්පානන්ද දෙණිපිටිය මහතා සමගද අපි වෙසක් තොරණ පිළිබඳ කතා කළෙමු. “මගේ තාත්තා දයානන්ද දෙණිපිටිය. එතුමා දකුණු පළාතේ හිටිය අති දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. වෙහෙර විහාරස්ථානවල චිත්‍ර කර්මාන්තය කළ එතුමා මූර්ති ශිල්පියෙක් ලෙසත් නමක් දිනාගත අයෙකි. මම උපන්නේ වැලිගම. අපේ පවු‍ලේ දරුවෝ හත්දෙනයි. මම තුන්වැනියා. ඇත්තටම චිත්‍ර කලාව පිළිබඳ පුංචි දවස්වල ඉඳලා මට තිබුණේ පුදුම ආසාවක්. ඒ හීනය අද වෙනකොට ඉටු වෙලා තියෙනවා. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ඉදිවෙන ඓතිහාසික තොටළඟ තොරණ චිත්‍ර නිර්මාණ කළේ යම මහපෙළහර කතා පුවත සම්බන්ධවයි. බුද්ධ චරිතයේ යමා මහා පෙළහර පෑ අවස්ථා කිහිපයක්ම දක්නට ලැබෙනවා. ඒ අනුව මෙම තොරණට බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේලා අවස්ථා කිහිපයකදී යමා මහ පෙළහර පෑ ආකාරය චිත්‍රයට නගා තිබෙනවා. පෑලියගොඩ , නවලෝක තොරණ සඳහා කතා පුවත වුණේ සමනල වරුණයි. ‘සමනල වරුණ’ කතා පුවතෙන් අපි ඉදිරිපත් කරන්නේ ශ්‍රී පතුල වඳින්නට ගිය දිව්‍යාංගනාවන් පසුපස ගොස් ශ්‍රී පතුල වන්දනාමාන කළ නිශ්ශංකමල්ල රජ දවස විසූ අත් පා කොට මිනිසෙකු පිළිබඳවයි. ඔහුගේ ඒ සොයා ගැනීමත් සමග රජු ඇතුළු සාමාන්‍ය මිනිසුන් සමනල අඩවිය වන්දනාමාන කරන්නට ගිය ආකාරය දක්වා කතාව විකාශනය වෙනවා. කිරිබත්ගොඩ තොරණ සඳහා කතා තේමාව වුණේ කෝසල මල්ලිකා කතා පුවතයි. මහා භද්‍ර කල්ප විනාශය තේමාව කරගත් කොටුව මැනිං වෙළෙඳසල අසල තොරණ ලෝකය විනාශ වන ආකාරය පිළිබඳ චිත්‍ර නිර්මාණ ඇතුළත් වෙනවා. මෙම තොරණ විශේෂත්වය වන්නේ ලෝක ය මුලින්ම පහළ වූවායැයි සැලකෙන සතුන් 04 දෙනාවත් අපි මේ තොරණට යොදා ගත්තා. ඒ අය කව්ද කියලා මේ තොරණ, නරඹන්න එන උදවියට බලාගන්න පුළුවන්. පුෂ්පා නන්ද දෙණිපිටිය මහතා කතාව අවසන් කළේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරමිනි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මගින් වාර්ෂිකව සංවිධානය කරන බෞද්ධාලෝක වෙසක් කලාපයට සමගාමීව ඉදිකෙරෙන තොරණ මෙවර පැවැත්වෙන්නේ 12 වරටය. උස අඩි 50 සහ දිග අඩි 52ක් වන මෙම තොරණ කතා තේමාව වී ඇත්තේ සිවි ජාතක කතාවයි. දන් දීමෙහි උතුම් බව මෙම ජාතක කතාව මගින් නිරූපණය කෙරේ. විදුලි බුබුළු 30,000 කින් ආලෝකමත් කෙරෙන මෙම තොරණ රූප රාමු 14 කින් යුක්ත වේ. මෙහි කතා පිටපත කිවිපති කේ. මර්වින් සේනාරත්න විසිනි. සැලසුම හා චිත්‍ර නිර්මාණ ඩබ්.ඒ. සුනිල් විමලසිරි විසිනි. ‘සුනිල් ඉලෙක්ට්‍රිකල් ‘ අධිපති ප්‍රේමසිරි ආරියරත්න මහතා විසින් විදුලි ආලෝකය සපයනු ලබයි. රාගම එක්සත් ශ්‍රී වෛශාඛ්‍යදාන සමිතිය මගිින් සංවිධානය කරන තොරණ මෙවර පැවැත්වෙන්නේ 07 වෙනි වරටය. මෙම තොරණ සඳහා කතා තේමාව වී ඇත්තේ සුමන මල්කරුගේ චරිත කතාවයි. රාගම දුම්රිය‍පොළ අසල ඉදිකර ඇති මෙම තොරණ උස අඩි 50 ක් සහ දිග අඩි 50 ක් වේ. විදුලි බුබුළු 22,000 කින් ආලෝකමත් කෙරෙන මෙම තොරණ චිත්‍ර නිර්මාණය කර ඇත්තේ එම්.ජේ. දිසානායක විසිනි. ග්‍රෑන්ඩ්පාස් , කොස්ගස් හන්දියේ ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක සමිතිය මගින් ඉදිරිපත් කරන තොරණ මෙවර පැවැත්වෙන්නේ 45 වැනි වරටය. උස අඩි 60 ක් සහ පළල අඩි 50ක් වන මෙම තොරණ කතා තේමාව වී ඇත්තේ වලාහක ජාතකයයි. විදුලි බුබුළු 60,000කට වැඩි ප්‍රමාණයකින් ආලෝකමත් කෙරෙන මෙම තොරණ චිත්‍ර නිර්මාණය තිස්ස වීරවර්ධන විසිනි. කතා පිටපත කිවිපති මර්වින් සේනාරත්න විසිනි. කටු තොරණ නිර්මාණ ශිල්පී සරත් කුමාර විසින් නිර්මාණය කර ඇති අතර මෙම තොරණ විදුලි ශිල්පියා වන්නේ සරත් වරුෂ විතාන මහතායි. සිව්දෙස ඉදිවුණ තොරණින් ආලෝකමත් වන කොළොම්පුර වෙසක් අසිරිය හෙට දිනයේ දී චමත්කාර දසුනක් මවනු ඇත. කොළොම්පුර වෙසක් සිරි නරඹන්නට පැමිණෙන ඔබට එය සුන්දර අත්දැකීමක් වනවාට නොඅනුමානය.

No comments: