Wednesday, May 8, 2013

Duminda came to the Court .....

දුමින්ද අදත් උසාවි එයි

සාක්කිකරුවන්ට සිතාසි : නඩු විභාගය ජුලි 22


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් ඉල්ලා සිටීම අවශ්‍ය නොවන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2012 පළාත් පාලන මැතිවරණ සමයේ කොළොන්නාවේදී ඝාතනය කළැයි කියන නඩුවේ 11 වැනි සැකකරු දුමින්ද සිල්වාය.

ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ දුමින්ද සිල්වාට උසාවි පැමිණීමට හැකිදැයි සොයා බලන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා කොළඹ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළ බවයි.

ඔහුට උසාවි පැමිණීමට නොහැකි යැයි ඔහුගේ නීතීඥවරයා පැවසූ දිනට පසු දිනම ඔහුට ඇප ලැබී රූපවාහිනියෙන් ද කතා කළ බව ජයසූරිය මහතා යුක්තිය සැමට සාධාරණ විය යුතුයැයි ද කීවේය.

දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා පැවසුවේ ඔහු දැන් උසාවි පැමිණ ඇති හෙයින් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සෙවීමට විශේෂඥ වෛද්‍ය කමිටුවක් පත් කිරීම අනවශ්‍ය බවයි.

සිල්වා දැන් හොඳ සිහියෙන් සිටින බවත්, ප්‍රශ්නවලට උත්තර දිය හැකි බවත් කී නීතීඥවරයා එහෙයින් කලින් දුන් තීන්දුව තවදුරටත් වලංගු නොවන බවත් සඳහන් කළේය.

පළවැනි සැකකරු වන ඇමැති ආරක්ෂක නිලධාරියකු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ අංජුල ප්‍රේමරත්න මහතා කීවේ නඩු විභාගය පමා කිරීම සඳහා නොයෙකුත් දේශපාලන කතා කරන බවයි. නඩුව ඉක්මන් කරන ලෙස ඔහු කීවේය.

එකේ සිට දහය දක්වා සාක්ෂිකරුවනට සිතාමි නිකුත් කරන ලෙස සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ඉල්ලා සිටියේය.

නඩු විභාගය ජූලි 22ට කල් තැබිණි.

තෙවැනි සැකකරු චමින්ද රවි ජයනාත් මැයි 22වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

දුමින්ද සිල්වා, ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරියත්, දියණිය හිරුණිකාත් අධිකරණයට පැමිණ සිටියේය.

No comments: