Wednesday, April 3, 2013

'අයිපීඑල් සල්ලි මල්ල' විවෘත කිරීමට අපෙන් මහේල, ජීවන් සහ සචිත්‍ර






ඉන්දිය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේ හය වැනි අදියර හෙවත් 2013 තරගාවලිය අද (03 දා) කල්කටා නයිට්‌ රයිඩර්ස්‌ සහ දිල්ලි ඩෙයා ඩෙවල්ස්‌ අතර තරගයේ සිට දියත් වේ. මෙම සමාරම්භක තරග ප.ව. 8.00 කල්කටා හී පිහිටි ඊඩ්න් ගාර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තමිල්නාඩු මහා ඇමැතිනි ජයලලිතා ජයරාම් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මෙවර අයි.පී.එල්. තරගාවලියේ චෙන්නායි තරග තහනම් කළද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10 දෙනකු මේ වන විට තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස්‌ සිටීම විශේෂත්වයකි.

අද තරගය සඳහා මහේල ජයවර්ධන නායකත්වය දරන දිල්ලි ඩෙයා ඩෙවල්ස්‌ කණ්‌ඩායමට ජීවන් මෙන්ඩිස්‌ද ඇතුළත්ව තිබේ. ගෞතම් ගාම්භීර් නායකත්වය දරන ප්‍රතිවාදී කල්කටා කණ්‌ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇතුළත්ව ඇත.

සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් කුමාර් සංගක්‌කාර සන්රයිසස්‌ හයිද්‍රාබාද් කණ්‌ඩායමට නායකත්ව ලබා දෙන අතර තිසර පෙරේරාද එම කණ්‌ඩායම නියෝජනය කරයි. ඇන්ජලෝ මැතිව්ස්‌ නායකත්වය දරන පූනේ වොරියර්ස්‌ කණ්‌ඩායමට අජන්ත මෙන්ඩිස්‌ද ඇතුළත්ව තිබේ.

සුපුරුදු පරිදි ලසිත් මාලිංග මෙවරත් මුම්බායි ඉන්දින්ස්‌ කණ්‌ඩායම නියෝජනය කරන අතර කුසල් පෙරේරා රාජස්‌තාන් රෝයල් කණ්‌ඩායමට දායකත්වය ලබාදෙයි. මුත්තයියා මුරලිදරන් සහ තිලකරත්න ඩිල්ෂාන් විරාත් කෝලි නායකත්වය දරන රෝයල් චැලේන්ජ් බැංගලෝර් කණ්‌ඩායම නියෝජය කරති.

චෙන්නායි සුපර් කිංග්ස්‌ කණ්‌ඩායම නියෝජනය කිරීමට යෝජිතව සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය මෙවර තරගාවලියට සිය සහභාගිත්වය පිළිබඳව මෙතෙක්‌ කිසිවක්‌ අනාවරණය කර නොමැත. කෙසේ වෙතත් දිනේෂ් චන්දිමාල් පමණක්‌ පළමු වරට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් අයි.පී.එල්. තරගාවලිය නියෝජනය කිරීමට අකමැත්ත පළ කර තිබේ.

සමස්‌ත තරග 76 කින් යුත් මෙවර අයි.පී.එල්. පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලියේ චෙන්නායිහී පැවැත්වෙන තරග 10 සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි නොවීමට තීරණය කර තිබේ.

පළමු වටයේ තරග 8 ක්‌, පළමු අවසන් පූර්ව තරගය සහ තෙවැනි සිව්වැනි ස්‌ථාන තීරණය කරන තරග චෙන්නායිහී පිහිටි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට චෙන්නායිහී තරග ක්‍රීඩා කිරීමට අවස්‌ථාව දීම සම්බන්ධයෙන් අයි.පී.එල්. තරග සංවිධායකයන් කිසිදු උපාය මාර්ගයක්‌ යොදා නැති බව වාර්තා වෙන අතර එය දේශපාලන හේතුවක්‌ හෙයින් ඔවුන් පසුගාමී වී සිටින බවද වාර්තා වේ.

අයි.පී.එල්. ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වගතුග

2008 වසරේ ආරම්භ වූ අයි.පී.එල්. ක්‍රිකට්‌ තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් ලසිත් මාලිංග අයි.පී.එල්. ක්‍රිකට්‌ තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව තිබේ.

ලසිත් මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 20-20 තරග 43 ක්‌ පමණක්‌ නියෝජනය කර තිබුණද ඔහු අයි.පී.එල්. 20-20 තරග 56 කට සහභාගි වී තිබීම විශේෂත්වයකි. මාලිංග ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාර 20-20 තරග 43 කදී කඩුලු 49 ක්‌ බිඳ දැමූ අතර අයි.පී.එල්. තරග 56 කදී ඔහු බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 83 කි. අයි.පී.එල්. තරගයදී මාලිංග ගේ කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 16.63 ක්‌ වුවද ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 22.38 ක්‌ ලෙස සටහන් කරගෙන තිබේ. අයි.පී.එල්. තරගවලදී මාලිංග පන්දුවාරයකට දළ ලකුණු 6.36 ක්‌ ලබා තිබුණද ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවාරයකට දළ ලකුණු 7.41 ක්‌ ලබාදී තිබේ.

මහේල ජයවර්ධන අයි.පී.එල්. තරග 65 කදී ලකුණු 1471 ක්‌ද ලබා ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු 20-20 තරග 46 කදී ලබා ඇත්තේ ලකුණු 1293 කි. කුමාර් සංගක්‌කාර අයි.පී.එල්. තරග 62 කදී ලකුණු 1567 ක්‌ ලබා ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහු 20-20 තරග 43 කදී ලකුණු 1080 ක්‌ ලබා තිබේ. තිලකරත්න ඩිල්ෂාන් අයි.පී.එල්. තරග 47 කදී ලකුණු 1077 ක්‌ ලබා ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 48 කදී ලකුණු 1120 ක්‌ ලබා තිබේ.

සමස්‌තයක්‌ වශයෙන් ජාතික කණ්‌ඩායමට වඩා වැඩි දක්‍ෂතාවක්‌ අයි.පී.එල්. තරගාවලියේදී ලබාදීමට ඉහත ක්‍රීඩකයන් සමත්ව තිබීම විශේෂත්වයකි.

සංගක්‌කාරගේ කතාව

තමිල්නාඩු ප්‍රාන්තය තමන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට තහනම් කර තිබුණද ඉන්දියාවේ සෙසු සියලු ස්‌ථාන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ව ආදරයෙන් පිළිගන්නා බැවින් අයි.පී.එල්. තරගාවලියට සහභාගි වන බව කුමාර් සංගක්‌කාර පවසයි.

මෙවැනි දේශපාලන මත තුළින් ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ජීවගුණයට හානියක්‌ සිදුවන බවද සංගක්‌කාර එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

No comments: