Wednesday, April 17, 2013

මේ මාසයේ සිට විදුලි ගාස්‌තු නගී


නව විදුලි ගාස්‌තු වැඩිවීම මේ මාසයේ විදුලි බිල්පතේ සිට ක්‍රියාත්මක කිරීමට විදුලිබල අමාත්‍යාංශය තීරණය කර ඇත. මේ බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග ඊයේ (16 දා) අනාවරණය කළේය.
ඒ සඳහා මහජන උපයෝගිතා කොමිසමේ වාර්තාව අද (17 වැනිදා) ලබාදීමට නියමිත බවත් එම වාර්තා පදනම් කරගෙන නව විදුලි ගාස්‌තු වැඩිවීම ක්‍රියාත්මක කරන බවත් එම ආරංචි මාර්ග පැවසීය.

විදුලි ගාස්‌තු ඉහළ දැමීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබූ යෝජනා සුළු සංශෝධනයකට ලක්‌කර ඇතැයි ද ඒ අනුව කලින් ප්‍රකාශයට පත්කර තිබූ යෝජනාවේ තිබූ ඒකක 90 ට වැඩි විදුලිය පරිභෝජනය කරන ගෘහස්‌ථ විදුලි පාරිභෝගිකයන්ගෙන් විදුලි ඒකකයකට අය කරනු ලබන මිල යෝජිත ගණනට වඩා තවදුරටත් ඉහළ නංවා ඇතැයි ද විදුලිබල අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ආචාර්ය ජයතිස්‌ස ද කොස්‌තා මහතාගෙන්  කළ විමසීමේදී ඒ මහතා පැවසුවේ නව විදුලි ගාස්‌තු සම්බන්ධව තම කොමිසම විසින් සකස්‌ කරන ලද වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක්‌ අද (17 වැනිදා) නිකුත් කරන බවයි.

නව විදුලි ගාස්‌තු සංශෝධනයට අනුව ගෘහස්‌ථ ඒකක 30 දක්‌වා රුපියල් 5.00 බැගින් ද ඒකක 60 දක්‌වා රුපියල් 6.00 බැගින් ද ඒකක 90 දක්‌වා රුපියල් 8.50 බැගින් ද ඒකකයක මිල නියම වනු ඇත.

එය මෙතෙක්‌ පැවතියේ ඒකක 30 දක්‌වා රුපියල් 3.00 ක්‌ ද ඒකක 60 දක්‌වා රුපියල් 4.70 ක්‌ ද ඒකක 90 දක්‌වා රුපියල් 7.50 ක්‌ ද ලෙසිනි.

නව විදුලි ගාස්‌තු සංශෝධනයට අනුව අදාළ ඒකක ප්‍රමාණය සඳහා අයකරනු ලබන මිල ගණන සමස්‌ත ඒකක ප්‍රමාණය සඳහාම නොවෙනස්‌ව පවතී.

මෙතෙක්‌ පැවැති ක්‍රමය අනුව විදුලි පරිභෝජන ඒකක ගණන සඳහා විදුලි බිල්පත සකස්‌ කරනු ලැබුවේ ඒකක 30, 60, 90, 120 ආදී ලෙසින් වෙන්කර ඇති ඒකකවලට අදාළ මිල ගණන් වෙන් වෙන් වශයෙන් ගණනය කිරීමෙනි.

නව විදුලි ගාස්‌තු සංශෝධනය අනුව යම් පාරිභෝගිකයෙක්‌ විදුලි ඒකක 90 ක්‌ පරිභෝජනය කර ඇත්නම් ඊට අදාළ විදුලි බිල්පත සකස්‌ කරන්නේ ඒකක 90 ටම රුපියල් 8.50 බැගින් ගණනය කරමිනි.

ඒ අනුව ඒකක 90 ක්‌ පරිභෝජනය කළ විදුලි පාරිභෝගිකයිනට නව විදුලි ගාස්‌තු සංශෝධනයට අනුව රුපියල් 200 ක පමණ මිලකින් විදුලි බිල ඉහළ යනු ඇත.
 

No comments: