Wednesday, April 24, 2013

Parliament postponed to May 7th


මැති සබයට කරන්ට්‌ වදී
- එජාප මන්ත්‍රීන්ගේ ඝෝෂාව මැද සභාව කල් තැබේ


විදුලි ගාස්‌තු ඉහළ දැමීමට විරෝධය දක්‌වමින් විපක්‍ෂ මන්ත්‍රීවරුන් ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සභා ගැබ මැදට පැමිණ ඝෝෂා කිරීමෙන් ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය නිසා කථානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුව අද (24) පස්‌වරු 1.00 තෙක්‌ කල් තබා මුලසුනෙන් නැගිට ගියේය.

මේ නිසා ඊයේ පස්‌වරු 1.00 ට ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කටයුතු පැයකුත් විනාඩි තිස්‌පහකට පමණක්‌ සීමාවිය. කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සභාවේ කටයුතු ඊයේ (23) පස්‌වරු 1.00 ට ආරම්භ වී නිවේදන, වාර්තා ඉදිරිපත් කර වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් මන්ත්‍රීවරුන් අසා තිබූ ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දීමද සිදුකෙරිණි. ඉන්පසුව වැඩබලන විපක්‍ෂ නායක විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා විසින් ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් විදුලි ගාස්‌තු ඉහළ නැංවීම පිළිබඳ ප්‍රශ්න කර සිටියේය.

ඉන්පසුව විදුලිබල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ජෝන් අමරතුංග මහතාගේ ප්‍රකාශයට පිළිතුරු දෙමින් දීර්ඝ ප්‍රකාශයක්‌ ඉදිරිපත් කළාය. විදුලි ගාස්‌තු ඉහළ නැංවීම සාධාරණීකරණය කරමින් ඇමැතිවරිය කතා කරන අතරේදී විපක්‍ෂ මන්ත්‍රීවරු වරින් වර ඇයට බාධා කරමින් ඝෝෂා කළහ.

විපක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව මැද පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සිය ප්‍රකාශය කර අසුන් ගත්තාය. විදුලි ගාස්‌තු ඉහළ නැංවීම ගැන අපිට දවසක විවාදයක්‌ ඕනෑ. කථානායකතුමනි ඒ විවාදය හෙට දිනයේ පවත්වන්න. ජෝන් අමරතුංග මහතා ඉල්ලා සිටියේය.

ඔහොම ඉල්ලුවම දෙයිද? ඔය ඉල්ලීම වෙනදා ඉදිරිපත් කරන ආකාරයටම කරන්න. කථානායක චමල් රාජපක්‍ෂ මහතා ජෝන් අමරතුංග මහතාට කීවේය.

"ඔබතුමා මොකද කියන්නේ" ජෝන් අමරතුංග මහතා සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් විමසුවේය.

හෙට දිනයේ විවාද කරන්න බෑ. හෙට පනත් කීපයක්‌ සම්මත කර ගන්න නියමිතයි. පක්‍ෂ නායක රැස්‌වීමක්‌ කැඳවමු. ඊළඟ පාර්ලිමේන්තු සතියේදී විවාදයට දිනයක්‌ ලබා දෙන්නම්. සභානායකවරයා කීවේය. මේ අවස්‌ථාවේදී විපක්‍ෂ මන්ත්‍රීවරු සිය අසුන් මත හිඳ ඝෝෂා කරන්නට වූහ.

කථානායකතුමනි මට රීති ප්‍රශ්නයක්‌ මතුකරන්න තියෙනවා. සජිත් ප්‍රේමදාස මහතා නැගී සිට කීවේය.

සජිත් ප්‍රේමදාස මහතා එහෙනම් රීති ප්‍රශ්නය මතු කරන්නකෝ කථානායකවරයා ප්‍රේමදාස මහතාට ඉඩ දුන්නේය.

විදුලි ගාස්‌තු ඉහළ දැමීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට විරුද්ධ බව පවසමින් සජිත් ප්‍රේමදාස මහතා විග්‍රහයක්‌ ඉදිරිපත් කළේය.

ඕක රීති ප්‍රශ්නයක්‌ නොවේ. හැන්සාඩ් වාර්තාවෙනුත් ඔය ප්‍රකාශය ඉවත් කරනවා යෑයි කථානායකවරයා ප්‍රකාශ කරද්දී විපක්‍ෂයේ මන්ත්‍රීවරු යළිත් ඝෝෂා කළහ.

එයද නොතකමින් විපක්‍ෂ මන්ත්‍රීවරු මුලසුන දෙසට එද්දී "දැන් න්‍යාය පත්‍රය අනුව මොනවද සභාවේ වැඩකටයුතු" යෑයි කථානායකවරයා සභානායකවරයාගෙන් ඇසුවේය.

විපක්‍ෂයේ කල් තැබීමේ යෝජනාවක්‌ යෑයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

එහෙනම් මම සභාව හෙට (අද) පස්‌වරු 1.00 දක්‌වා කල් තබනවා යෑයි පවසා කථානායකවරයා මුලසුනෙන් නැගී සිටියේය. ඒ අවස්‌ථාවේදී නියෝජ්‍ය වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සෙංකෝලය රැගෙන පස්‌වරු 2.45 ට සභා ගැබෙන් පිටව ගිය අතර විපක්‍ෂ මන්ත්‍රීවරු සභා ගැබ මැද සිට ඝෝෂා කරන්නට වූහ.

මේ අවස්‌ථාවේ සභා ගැබ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රීවරු සහ ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරු ද කිහිප දෙනෙක්‌ සිටියහ. එහෙත් එම මන්ත්‍රීවරු මෙම විරෝධතාවයට එක්‌ නොවී සිය අසුන් මත හිඳ බලා සිටියහ.

No comments: