Saturday, April 20, 2013

CEB has no profit yet....

විදුලි ගාස්‌තු වැඩි කළාට මණ්‌ඩලයට ලාභයක්‌ නෑ
- විදුලිබල මණ්‌ඩල සභාපති

මෙම මස 20 වැනිදා සිට නව විදුලි ගාස්‌තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමඟ විදුලි බිල්පත 60% කට වැඩි මිලකින් ඉහළ යනු ඇත. ජන ජීවිතයට අත්‍යවශ්‍ය පහසුකමක්‌ බවට පත්ව ඇති විදුලි බලය සඳහා අයකරනු ලබන ගාස්‌තු මෙලෙස ඉහළ යැම දුප්පත් ජනතාවට සහ මධ්‍යම පාන්තික ජනතාවට දරාගත නොහැකි තත්ත්වයකි. මෙලෙස ජනතාව පීඩාවට පත්වන අයුරින් විදුලි බිල නැංවීමට හේතුව පිළිබඳව අපි විදුලිබල මණ්‌ඩලයේ සභාපති ඩබ්ලිව්. බී. ගනේගල මහතාගෙන් විමසුවෙමු. එහිදී ඒ මහතා අපට ලබාදුන් පිළිතුරු මෙසේය.

ප්‍රශ්නය - නව විදුලි ගාස්‌තු සංශෝධනයට අනුව විදුලි බිල 60% කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යනවා. වත්මන් රජය ජනතාවට ලබාදුන් අවුරුදු තෑග්ග මෙයද?

පිළිතුර - විදුලි ගාස්‌තු වැඩිවීම සම්බන්ධව ගණන් බලනවිට ඔබ පවසන ඔය 60% ක ප්‍රතිශතය සංඛ්‍යාත්මකව නිවැරදියි. එය 60% ක්‌ නොව ඇතැම් අගයන්හි ඊටත් වැඩි ප්‍රතිශතයකින් මිල ඉහළ ගොස්‌ තිබෙනවා.

උදාහරණයක්‌ ලෙස ගත්විට ඒකක 1 සිට 30 දක්‌වා අය කළ ගාස්‌තුව රුපියල් 4.75 රුපියල් 7.25 දක්‌වා ඉහළ ගොස්‌ තිබෙනවා. ඒ අනුව මෙතෙක්‌ ඒකක 30 ක්‌ පරිභෝජනය කළ විදුලි පාරිභෝගිකයන්ට මාසිකව පැවැති විදුලි බිල වන රුපියල් 142.50 මින්පසු රුපියිල් 217.50 දක්‌වා ඉහළ යනවා. ඒ අනුව ඔවුන්ගේ මාසික විදුලිබිල රුපියල් 75 කින් මිල ඉහළ යනවා. මෙය දිනකට බැලුවොත් රුපියල් 2.50 කින් වැඩිවෙනවා.

විදුලිබල මණ්‌ඩල පනත අනුව සඳහන්ව ඇත්තේ විදුලි නිෂ්පාදන වියදමට සරිලන ආදායමක්‌ ලබාගන්න කියලයි. එය ලාභයකිනුත් තොරව පාඩුවකිනුත් තොරව ලබාගත යුතුයි. දැනට විදුලි බලමණ්‌ඩලයට විදුලි ඒකකයක්‌ නිපදවීම සඳහා වැයවෙන මුදල සාපේක්‌ෂව බැලූවිට රුපියල් 23 ක්‌ වෙනවා. ඉතිං එවැනි මිලකට නිපදවන විදුලිය තමයි අපි ජනතාවට සහන මිලට ලබා දෙන්නේ.

මෙලෙස සහන මිලට විදුලිය ලබාදීම නිසා විදුලිබල මණ්‌ඩලයට මාසිකව රුපියල් කෝටි 220 ක අතිරේක වියදමක්‌ යනවා. මෙම අතිරේක වියදම විදුලි ගාස්‌තු වැඩිකළා කියලා අඩුවෙන්නේ නැහැ. මොකද පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට ඩීසල් ලීටරයක මිල රුපියල් 115 සිට රුපියල් 121 දක්‌වා වැඩි කළා. දැවිතෙල් මිල රුපියල් 75 සිට 100 දක්‌වා වැඩිකළා. එනිසා ජනතාවට පැය 24 පුරා අඛණ්‌ඩව විදුලිය සැපයීම තවදුරටත් සිදු කරන්න නම් මෙලෙස විදුලි ගාස්‌තු වැඩිකිරීමක්‌ හැර වෙනත් විකල්පයක්‌ නැහැ.

විදුලි ගාස්‌තු වැඩි නොකළා නම් දිනකට පැය 04 ක්‌ පමණ විදුලිය කපා හරින්න සිදුවෙනවා.

ප්‍රශ්නය - පැවැති සෑම රජයකින්ම නව විදුලි බලාගාරයක්‌ විවෘත කරනවිට පවසන්නේ ඉන් නිපදවන විදුලියෙන් ශ්‍රී ලංකාවේ විදුලි පරිභෝජනයට අමතරව ඉන්දියාවටද විදුලිය දිය හැකි යෑයි කියාය. එසේ පවසන ආණ්‌ඩු මෙලෙස විදුලිබල මණ්‌ඩලය පාඩු ලබනවා යෑයි පවසමින් විදුලි ගාස්‌තු වැඩිකරනවා. එසේනම් මෙහි සත්‍ය කුමක්‌ද?

පිළිතුර - දේශපාලන වේදිකාවේ කරන ප්‍රකාශ ගැන මට පිළිතුරු දෙන්න බැහැ. නමුත් පවතින තත්ත්වය මත දැනට අපට තියෙන්නේ විදුලි බලාගාර 139 ක්‌. ඉන් 107 ක්‌ ජල විදුලි බලාගාර. ඉන්ධන දහනයෙන් ක්‍රියාකරන විදුලි බලාගාර 17 ක්‌ තියෙනවා. ගල් අඟුරු බලාගාර 01 ක්‌ තියෙනවා. පුනර්ජනනීය විදුලි බලාගාර 14 ක්‌ තියෙනවා. මේ සියල්ලෙන්ම නිෂ්පාදනය කරන්නේ විදුලි ඒකක දශලක්‌ෂ 11800 ක්‌. ඉන් ඒකක දශලක්‌ෂ 3298 ක්‌ ජල විදුලියෙනුත් ඒකක දශලක්‌ෂ 6935 ක්‌ ඉන්ධන දහනයෙනුත් ඒකක දශලක්‌ෂ 1400 ක්‌ ගල් අඟුරු දහනයෙනුත් ලබාගන්නවා. 2013 වසර සඳහා විදුලි ඉල්ලුම විදුලි ඒකක දශලක්‌ෂ 12566 ක්‌.

අපට අවශ්‍ය විදුලි අවශ්‍යතාවයෙන් 75% ක්‌ පමණ නිපදවන්නේ ආනයනික ඛනිජ තෙල් දහනයෙන්. ජල විදුලියෙන් නිපදවාගන්නේ 25%ක්‌ පමණ ප්‍රමාණයක්‌. මේ වනවිට අපි රටේ සියලු ගංගාවලින් ගත හැකි ජල විදුලිය උත්පාදනය සිදුකරනවා. ඉදිරියේදී අපට යොමුවිය හැක්‌කේ කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමට පමණයි.

දේශපාලන කරුණු නිසා ගල් අඟුරු විදුලි බලාගාරයක්‌ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම වසර 18 ක්‌ තිස්‌සේ අතපසු කළා. දැන් ලෝකයේ ජල විදුලියට පසු අඩුම වියදමකින් විදුලිය නිපදවිය හැක්‌කේ ගල් අඟුරුවලින් පමණයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ මහින්ද චින්තන වැඩපිළිවෙළට අනුව ශ්‍රී ලංකාවේ සැමට විදුලිය සැපයීමේ වැඩසටහනට අනුව නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය 2006 වසරේදී ඉදිකිරීම් ආරම්භ කිරීමට හැකිවුණා. එහි පළමු අදියර තමයි දැන් අවසන් කර තිබෙන්නේ. මෙම බලාගාරය සම්පූර්ණ ලෙස අවසන් කළ පසු ජාතික විදුලි පද්ධතියට මෙගාවොට්‌ 900 ක විදුලියක්‌ ලැබෙනවා. ගල් අඟුරුවලින් විදුලිය නිපදවීමේදී ඒකකයකට වැය වන්නේ රුපියල් 8.60 ක පමණ මුදලක්‌ පමණයි.

මහින්ද චින්තන වැඩපිළිවෙළ යටතේ මේ වන විට අප ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 94% කට විදුලිය ලබාදී තිබෙනවා. 2014 අප්‍රේල් මාසය වන විට එය 100% දක්‌වා සම්පූර්ණ කරනවා. නමුත් අපගේ කලාපයේ රටවල් වන ඉන්දියාවේ 65% ක පිරිසකටත් පකිස්‌ථානය 74% ක පිරිසකටත් නේපාලය 49% ක පිරිසකටත් බංගලාදේශය 44% ක පිරිසකටත් පමණයි තවම විදුලි පහසුකම් තිබෙන්නේ. තමිල්නාඩු ප්‍රාන්තයේ දිනකට පැය 16 ක්‌ විදුලිය කපනවා. නමුත් ශ්‍රී ලංකාවේ පැය 24 පුරා විදුලි සැපයුම ලබාදෙනවා. එනිසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයේ වැඩපිළිවෙළ අනුව සාම්පූර් විදුලිබලාගාරය ආරම්භ කළ පසු නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය සම්පූර්ණ වූ පසු රටේ ජනතාවට අවශ්‍ය විදුලිය නිපදවා ඉන්දියාවටත් අලෙවි කළ හැකියි. එය ජාතික සැලසුමක්‌ අනුව සිදු කරනු ලබනවා.

ප්‍රශ්නය - විදුලි ගාස්‌තු නැංවීමට සිදුව ඇත්තේ විදුලිබල මණ්‌ඩලයේ පවතින නාස්‌තිය දූෂණය නිසා යෑයි චෝදනා කරනවා. එම නාස්‌තිය දූෂණය අවම කර මහජනතාවට සහන සලසන්න බැරිද?

පිළිතුර - විදුලිබල මණ්‌ඩලයේ ස්‌ථිර සේවකයන් 16000 ක්‌ පමණ සිටිනවා. ඊට අමතරව දෛනික පදනම මත සේවය ලබාගන්නා සේවකයන් 4000 ක්‌ පමණ සිටිනවා. විදුලිබල මණ්‌ඩලයට අනුයුක්‌ත ඉංජිනේරුවන් 800 ක්‌ පමණ සිටින අතර ඉන් 95% ක්‌ ම විදුලි ඉංජිනේරු වෘත්තිකයෝ.

රට පුරාම විදුලි රැහැන් කිලෝමීටර් ලක්‍ෂ 2 ක්‌ පමණ ඇද තිබෙනවා.

ඊට අමතරව වසරකට කිලෝමීටර් 4000 ක්‌ පමණ විදුලි රැහැන් අදිනවා.

මා පිළිගන්නවා විදුලිබල මණ්‌ඩලයේ සේවකයන්ට හොඳ වැටුපක්‌ ලැබෙනවා. එය ඔවුන් වෘත්තීය අරගල කරලා ලබාගත් පහසුකම්. අනෙක විදුලි සේවකයන් කියන්නේ දවස්‌ 365 ම වැඩ කරන පැය 24 පුරාම රාජකාරි කළ යුතු පිරිසක්‌. හැබැයි දූෂණ වංචා සිදුවන බව කියන චෝදනාව මා පිළිගන්නේ නැහැ.

විදුලිබල මණ්‌ඩලයේ ගිණුම් පරීක්‍ෂා කරන්න විගණන දෙපාර්තමේන්තුවේ ස්‌ථිර නිලධාරියෙක්‌ ඉන්aනවා. අභ්‍යන්තර විගණන ඒකකයක්‌ තියෙනවා. සෑම වසරකම අදාළ විගණන වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මහජනතාවට දැනගැනීම සඳහා ප්‍රසිද්ධ කරනවා. ඉතිං ඔය කියන තරම් දූෂණ වෙනවා නම් ඒවා මෙම වාර්තා මගින් හෙළිවිය යුතුයි. මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා යම් තැනක දූෂණයක්‌ වනවානම් වහාම මට දැනුම් දෙන්න. දුරකථනයෙන් හෝ නිර්නාමිකව ලියුමකින් හෝ දැනුම් දෙන්න. මම ඒ ගැන වහාම පරීක්‍ෂා කරනවා. එහෙම නැතිව පදනමක්‌ නැති චෝදනා කරන්න එපා. විදුලිබල මණ්‌ඩලයේ සේවක නඩත්තුව සඳහා වැය කරන්නේ ලැබෙන ආදායමෙන් 6% ක්‌ පමණයි.

ප්‍රශ්නය - නැවත වරක්‌ විදුලි ගාස්‌තු වැඩිවන්නේ කවදාද?

පිළිතුර - විදුලිබල මණ්‌ඩලය දැනට ගෙන යන වැඩපිළිවෙළ අනුව නැවත වරක්‌ විදුලි බිල වැඩි වන එකක්‌ නැහැ. අනෙක විදුලි බිල වැඩි කළාට විදුලිබල මණ්‌ඩලයට ඉන් ලැබෙන ලාභයක්‌ නැහැ. වැඩි කළ මුදලින් ලැබෙන ආදායම ගෙවන්නේ ඛනිජ තෙල් සහ ගල් අඟුරු ආනයනය කිරීම සඳහායි. එනිසා විදුලිබල මණ්‌ඩලයේ පවතින රුපියල් කෝටි 220 ක අතිරේක වියදම ඒ අයුරින්ම පවතිනවා. ඒ වගේම තමයි විදුලි පාරිභෝගිකයන් විදුලි නිෂ්පාදන වියදමින් ගෙවන්නේ 65% ක පමණ මුදලක්‌ පමණයි. ඉතිරි මුදල ආණ්‌ඩුවෙන් වැය කරනවා. එනිසා මහජනතාවත් අරපිරිමැස්‌මෙන් විදුලිය පරිභෝජනය කළ යුතුයි.

අප රටේ විදුලිය පරිභෝජනය කරන ලක්‍ෂ 56 ක්‌ පමණ වූ ජනතාවගෙන් ලක්‍ෂ 35 ක්‌ පමණ පිරිසක්‌ පරිභෝජනය කරන්නේ ඒකක 90 ට වඩා අඩුවෙන්. ඒකක 91 ත් 180 ත් අතර පරිභෝජනය කරන පිරිස ඉන්නේ ලක්‍ෂ 9 1/2 ක්‌ පමණ පිරිසක්‌. එනිසා අරපිරිමැස්‌මෙන් විදුලිය පරිභෝජනය කළහොත් විදුලි බිල පාලනය කරගන්නත් විදුලි නාස්‌තිය අඩුකර ගන්නත් පුළුවන්.

ප්‍රශ්නය - විදුලිය පරිහරණය අඩු කර ගන්න යෑයි කීවත් ඒකක 90 ට අඩුවෙන් පරිභෝජනය කරන ජනතාවගේ විදුලි ඒකකයකට අයකරන මිල වැඩිකර ඒකක 90 ට වඩා පරිභෝජනය කරන ජනතාවගේ විදුලි ඒකකයකට අයකරන මිල අඩුකර තිබෙනවා නේද?

පිළිතුර - විදුලි ගාස්‌තු නංවන්නේ යම් මිල සූත්‍රයකට අනුවයි. ඒකක 90 ට වැඩියෙන් පරිභෝජනය කරන පිරිස අතර කර්මාන්තකරුවන් ද සිටිනවා. අප අනවශ්‍ය ලෙස විදුලි ගාස්‌තු ඉහළ දැම්මොත් කර්මාන්තකරුවන් අමාරුවේ වැටෙනවා. එනිසා රටේ ආර්ථිකයත් පාලනය කරගෙන තමයි විදුලි බිල වැඩි කරන්නෙ.

No comments: