Wednesday, April 17, 2013

රඹුක්‌කන මැරතන් ශූරයා මියයයි



භාග්‍යවන්ත මාසය ලෙස සැළකෙන බක්‌ මාසය ශ්‍රී ලංකාවාසී ජනතාවගේ සැණකෙළි මාසය බවට පත්ව තිබේ. සිංහල - හින්දු අලුත් අවුරුදු උදාවත් සමඟම බක්‌ මාසයේ අසිරිය දොරින් දොර ගමෙන් ගම පැතිර යද්දී රත්පැහැ මලින් බර වූ එරබදු ගස්‌ මුදුනේ සිට කොහෝ... කොහෝ හඬ නගන කොහා වෙනදා මෙන් රඹකැන් පුරවරය සිසාරා කෑගසා ඉගිල ගියේ වෙනදා මෙන් රඹුක්‌කන බතමුරය ක්‍රීඩාංගණයේ පවත්වන "සූර්යාංජලී වසන්ත උදානය" ට සූදානම් වන ලෙස පවසමිනි.

රඹුක්‌කන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිස්‌ ස්‌ථානය සහ මහීපාල හේරත් ජන සහන පදනම එක්‌ව සංවිධානය කරන ලද සූර්යාංජලී වසන්ත උදානය පෙරවරු 8.00 ට ආරම්භ කෙරුණි.

මැරතන් තරග සඳහා සහභාගි වූ තරගකරුවන් ඒ වන විටත් පැමිණ සිටි අතර එය නැරඹීමට පැමිණි ජනතාවගෙන් කිසිවකු හෝ එම තරග ඉසව්වත් සමඟම බක්‌මහ සැණකෙළිය නිමාවනු ඇතැයි සිහිනෙකින් හෝ නොසිතන්නට ඇත. ඒ ඊට සහභාගි වූ ක්‍රීඩකයකු තරගයට සහභාගි වෙමින් සිටියදීම මියයැම හේතුවෙනි.

මැරතන් ධාවන තරගය කාන්තා පිරිමි වශයෙන් වෙන වෙනම පැවැති අතර එම තරග ඉසව්ව තුළ වයස අවුරුදු 40 න් ඉහළ සහ වයස අවුරුදු 50 න් ඉහළ වශයෙන් එකට එක්‌ව තරග වැද වෙන වෙනම ජයග්‍රාහකයන් තෝරා ගැනීමට සංවිධායක මණ්‌ඩලය කටයුතු කර තිබිණි.

එසේ මියගිය රඹුක්‌කන පොලිසිය අසල පදිංචි කේ. යසරත්න මහතා වයස අවුරුදු 72 ක්‌ වූ දරු සතරදෙනකුගේ පියෙකි. රඹුක්‌කන පුරවරයේ ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයකු වන යසරත්න මහතා දිනපතා පෙරවරු 4.00 ට අවධි වී රඹුක්‌කන අශෝක කරුණාරත්න ක්‍රීඩා පිටියට පැමිණ ව්‍යායාම්වල නිරත වන අතර කෙටි දුර ධාවනයට සුවිශේෂී දස්‌කම් දැක්‌වූ අයෙකි.

මේ පිළිබඳව ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා සංගමයේ සභාපති එස්‌. එන්. ඡේ. ජයස්‌ (64) මහතා මෙසේ අදහස්‌ දැක්‌වීය. යසරත්න මහතා අපේ සංගමයේ ප්‍රබල චරිතයක්‌. මීටර් 100, 200, 400, 800 වගේ ක්‍රීඩා ඉසව් සඳහා තරග කරලා සම්මාන පදක්‌කම් රාශියක්‌ රඹුක්‌කනට රැගෙනවිත් තිබෙනවා. ඔහු සැබවින්ම කෙටිදුර ධාවනයට දක්‍ෂයෙක්‌. ඔහු සෑම වසරකම පැවැත්වෙන සූර්යාංජලී බක්‌මහ උළෙලට කෙටි දුර සඳහා තරග කරනවා. ඒ හැම විටම ජයගත්තා. පසුගිය දිනවල ඔහු තරමක්‌ අසනීපවයි හිටියේ. එසේ තිබියදී තමයි මෙවර කෙටිදුර ධාවනයට නොව මැරතන් ධාවනයට එක්‌ව තිබෙන්නේ. ඔහු මමත් එක්‌කම වගේ එකට දිව්වේ. කිලෝමීටර් 7 දුරෙන් කිලෝමීටර් 3 හමාරක්‌ පමණ අවසන් කර සිටියදී එකපාරටම "මගේ පපුව රිදෙනවා" කියලා බිම ඉඳගත්තා. මම අසල සිටි තවත් කීපදෙනකුට කතා කරලා ඔහුව අපිට පසුපසින් පැමිණි ඇම්බියුලන්ස්‌ එකට දැම්මා. ඊට පස්‌සේ මම අනෙක්‌ තරගකරුවන් සමඟ ඉදිරියට දිව්වා. පසුව තරගය ඉවරවෙලා පිට්‌ටනියට පැමිණි පසු දැනගන්න ලැබුණා ඔහු මියගොස්‌ ඇති බව. මම හිතන්නේ ඔහු මීටර් 100 දුවන වේගයට මෙම මැරතන් ධාවනයටත් තරග කළේ. ඒ වේගය වැඩි නිසා තමයි පපුවේ අමාරුව ආවේ. එසේ නැතිව සාමාන්‍ය වේගයෙන් දිව්වා නම් මේ මොකවත් වෙන්නේ නෑ. කෙසේ වුවත් ඕනෑම තරගයකදී තමන්ට ඉදිරියෙන් සිටින කෙනා පසු කිරීමට හිතෙන එක සාමාන්‍යයි. ඒක තමයි තරගයකදී තරගකරුගේ ස්‌වභාවය.

එස්‌. පී. වික්‍රමසිංහ මහතා (47) - උදේ 8.00 ට විතර තරගය ආරම්භ කළා. තරගකරුවන් 20 ක්‌ විතර හිටියා. යසරත්න මහතා මම ළඟට ඇවිත් අතට අත දීලා සුබ පැතුවා. මට කීවා මීටර් 100 දුවන්න මේක ඉවරවෙලා එනවා කියලා. ඔහු කෙටි දුර දුවන්න දක්‍ෂයි. අපේ ප්‍රවීණයන්ගේ සංගමයේ සෑම ඉරු දිනකම අශෝක ක්‍රීඩාංගණයේදී පෙරවරු 6.00 ට රැස්‌වීමක්‌ තියෙනවා. ඒ සඳහා යසරත්න මහතා ඉතා උනන්දුවෙන් සහභාගිවෙලා අපිට විවිධ උපදෙස්‌ දෙනවා. කාටත් හිනාවෙලා කතාකරන ගතියක්‌ තිබූ යසරත්න මහතා වයස අවුරුදු 72 ක්‌ වුවත් නිතරම කොල්ලෙක්‌ වගේ කඩිසරව වැඩ කළා. මිනිසත්කම පිරිලා තිබුණු පුද්ගලයෙක්‌.

යසරත්න මහතාගේ බිරිඳ වන කේ. ඩී. විමලා විඡේවර්ධන (56) මහත්මිය - මියගොස්‌ සිටින්නේ මගේ ස්‌වාමිපුරුෂයා අපිට දරුවෝ හතරදෙනෙක්‌ ඉන්නවා මහත්තයා ක්‍රීඩාවලට හරිම කැමතියි. හුඟක්‌ අවුරුදු උත්සවවලට ගිහිල්ලා මීටර් 100, 200 වගේ තරග දුවලා ජයගෙන තියෙනවා. ඒ වගේම මීටර් 200, 400, 800 වගේ තරග කරලා ජාතික මට්‌ටමේ තරග රැසකින් ජයගෙන තිබෙනවා. හැමදාම උදේ 4.00 ට නැගිටලා පිට්‌ටනියට ගිහිල්ලා දුවනවා. ව්‍යායාම් කරනවා. නමුත් දැන් දින කීපයක සිට තරමක අසනීප ගතියකින් හිටියේ. අද උදේ බතමුරය පිට්‌ටනියේ තිබෙන අවුරුදු උත්සවයට යන්න සූදානම් වන විට මම කීවා අසනීප නිසා යන්න එපා කියලා. පුතාත් කීවා යන්න එපා කියලා. එතකොට මහත්තයා කීවා ඔයාලා තමයි මාව ලෙඩෙක්‌ කරවන්නේ. මට අසනීපයක්‌ නෑ. එහෙම කියලා අපි එපා කියද්දීම ගියා. මහත්තයා ගෙදරින් පිටවෙනකොට මම ඩයස්‌ මහත්තයට කෝල් කරලා කීවා. ඔන්න අපි එපා කියද්දී දුවන්න ඕන කියලා ආවා . දුවන්න දෙන්න එපා කියලා කීවා. ටික වෙලාවකින් මට කෝල් කරලා කීවා මහත්තයා. දුවද්දී වැටිලා ඉස්‌පිරිතාලෙට අරගෙන ගියා කියලා. රෝහලට ගිය විට දැනගන්න ලැබුණා මහත්තයා මියගොස්‌ ඇති බව.

මරණය කාටත් පොදුය. සමහරු අඩු වයසින් මියයති. සමහරු පරම ආයුෂ විඳ මියයති. තවත් පිරිසක්‌ අකාලයේ මියයති. මේ සියල්ලටම හේතුව තමන් රැගෙන පැමිණි ආයුෂ ප්‍රමාණය යෑයි බුදුදහමට අනුව සිතා සැනසිය හැකි නමුත් වර්තමානයේදී ක්‍රීඩාපිටියේ මියයැම් දිනෙන් දින අසන්නට ලැබෙනුයේ කොතන හෝ සිදුවන අතපසුවීමක්‌ නිසා දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. බොහෝවිට මැරතන් ධාවන තරගවලට සහභාගිවීමට පෙර වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌විය යුතු බව පසුගිය දින කීපය පුරාවට මාධ්‍ය තුළින් කොතෙකුත් පෙන්වා දුන් නමුත් ඒවා කිසිවකු හෝ ගණන් ගෙන නැති බවක්‌ මේ මරණ තුළින් ද අපට පැහැදිලි වේ. යසරත්න මහතා වයස අවුරුදු 72 ක පුද්ගලයකු නිසා ඔහු තරග කිරීමට පෙර වෛද්‍ය පරීක්‍ෂණයකට සහභාගි වූවා නම් ඔහු තවමත් අප අතර නොවේදැයි සාධාරණ සිතුවිල්ලක්‌ අප කා තුළත් උපදින්නේ ඒ නිසාවෙනි.

No comments: