Friday, April 19, 2013

විදුලි ඒකකයක්‌ වැඩිවීමේදී 1150 ක්‌ වැඩිවන්නේ ජනතාවාදී ආණ්‌ඩුවක්‌ බව පම්පෝරි ගසන නිසාදැයි ජවිපෙ ප්‍රශ්න කරයි

විදුලි ඒකක අනූවේ සිට අනූ එක දක්‌වා එක්‌ විදුලි ඒකකයක්‌ වැඩිවූ විට විදුලි බිල රුපියල් එක්‌දහස්‌ එකසිය පනස්‌ පහකින් ඉහළ යන්නේ එජනිස ආණ්‌ඩුව ජනතාවාදී ආණ්‌ඩුවක්‌ බව පම්පෝරි ගසන නිසාදැයි තම පක්‍ෂය ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කරන බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

කනකර ආභරණ උකස්‌ කර අවුරුදු කෑ ජනතාවට එම ණයවත් ගෙවා ගැනීමට නොහැකිව තිබියදී රජය විදුලි බිල අසාධාරණ ලෙස වැඩිකර ඔවුන්ව කබලෙන් ළිපට ඇද දැමූ බව ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (18 වැනිදා) එම අදහස්‌ පළකළේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ පැවසීය.

පසුගිය කාලය පුරාම විදුලි බිල ඉහළ දැමීම පිළිබඳ නොයෙක්‌ කතා කියමින් ආණ්‌ඩුව හොරගල් අහුලමින් සිටියා. නමුත් අවසානයේ කිසිදු අනුකම්පාවකින් තොරව ඉතාමත් අසාධාරණ ලෙස රජය විදුලි බිල ඉහළ දැමීමට කටයුතු කළා. ජනතාවට සුබ අලුත් අවුරුද්දක්‌ ප්‍රාර්ථනා කරනවා යෑයි කියූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නැකතට වැඩ ඇල්ලුවේ ජනතාවට දරා ගන්න බැරි ලෙස විදුලි බිල ඉහළ දමලයි.

මෙම මිල ඉහළ දැමීම සරල ප්‍රශ්නයක්‌ නොවෙයි. වත්මන් රජය පසුගිය කාලය පුරාම අත්‍යවශ්‍ය භාණ්‌ඩ රැසක මිල ඉහළ දැමීමට කටයුතු කළා. අවසානයේ විදුලි බිලත් ඉහළ දැමීමට කටයුතු කළා.

විදුලි බල ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නව ඇමැති තනතුරේ වැඩ භාර ගනිමින් සඳහන් කළේ කිසි විටකවත් විදුලි බිල ඉහළ දමන්නේවත්, නොරොච්චෝලේ විදුලි බලාගාරය චීනයට දෙන්නේවත් නැති බවයි. නමුත් අවසානයේ සිදුවුනේ කුමක්‌ද? ඉහළ දමන්නේ නැහැයි පැහැදිලිව කියූ විදුලි බිල ඉහළ දැමීමට ඔවුන් කටයුතු කළා.

මහජන උපයෝගිතා කොමිසම විදුලි බිල ඉහළ දැමීම පිළිබඳ මහජන අදහස්‌ ලබා ගන්නා දිනයක්‌ වෙන්කළා.

මහජන උපයෝගිතා කොමිසම යනු හිතවතුන්ට රැකියාවක්‌ දෙන්න ස්‌ථාපිත කළ දෙයක්‌ විනා මහජනතාව වෙනුවෙන් ස්‌ථාපිත කළ දෙයක්‌ නොවේ.

මෙම කොමිසම රටට හෝ ජනතාවට වැඩක්‌ ඇති දෙයක්‌ වේ.

මෙම කොමිසමේ නාමය මහජන උපයෝගිතා කොමිසම වුවද එම කොමිසම මහජන අදහස්‌ පිළි නොගන්නා එකක්‌ නොවේ.

විදුලි ගාස්‌තු වැඩිවීම සම්බන්ධව කොමිසම හමුවේ කරුණු දැක්‌වූ ජනතාවගෙන් සියයට 95 ක්‌ මිල වැඩිවීමට අකමැත්ත ප්‍රකාශ කර සිටියදීත් විදුලි බිල ඉහළ දැමීමට ඔවුන් කටයුතු කළා.

මහජන උපයෝගිතා කොමිසම මහජන අදහස්‌ නොසලකා විදුලි බල මණ්‌ඩලය ඉල්ලුව ලෙසම විදුලි බිල ඉහළ දැමුවා. මෙම කොමිසම මහජනතාවට සෙතක්‌ ඇති ආයතනයක්‌ නොවන බවට මෙයින් හොඳින් පැහැදිලි වෙනවා.

මෙම විදුලි බිල වැඩිවීම වැඩිපුර දැනෙන්නේ දිළිඳු හා සාමාන්‍ය ජනතාවටයි. වත්මන් රජය මහා පරිමාණ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල ඉහළ දමා නැහැ. රජය සාමාන්‍ය ජනතාවගේ සහ දිළිඳු ජනතාවගේ බෙල්ල මිරිකා සල්ලි හොයන ප්‍රතිපත්තියක්‌ අනුගමනය කරනවා. මහින්ද චින්තනයේ ඇත්ත මෙයද කියා අප ප්‍රශ්න කර සිටිනවා.

ඒකක 1 සිට 30 දක්‌වා ඒකකයක මිල රුපියල් 3.00 සිට රුපියල් 5.00 දක්‌වා ඉහළ දමා තිබෙනවා. එයට මාසික ගාස්‌තුවත්, ඉන්ධන ගැලපුම් ගාස්‌තුවත් අය කරනවා. බල්බ දෙක තුනක්‌ පමණක්‌ භාවිත කරන මෙම කාණ්‌ඩයේ ජනතාවගෙන් ඉන්ධන ගැලපුම් ගාස්‌තුවක්‌ අයකිරීම ඉතාමත් අසාධාරණයි.

ජනතාව ගැන හිතනවා යෑයි නිතර කියන වත්මන් රජය මෙවර විදුලි බිල ඉහළ දැමුවේ නව ක්‍රමයකටයි. ඒකක 1 සිට 30 දක්‌වා වූ ඒකක සඳහා රුපියල් 5.00 ක්‌ද 31 සිට 60 දක්‌වා රුපියල් 6 ක්‌ද, 61 සිට 90 දක්‌වා රුපියල් 8.50 ක්‌ද වනසේ ඉහළ දමා තිබෙනවා. මෙම ක්‍රමයේදී ඒකක 1 සිට 30 දක්‌වා රුපියල් පහක්‌ වුවත් ඒකක ගණන 31 වූ විට එය ගණනය කරන්නේ ඒකක 1 සිට 31 දක්‌වා රුපියල් හයක්‌ ලෙසයි. මීට පෙර පැවතියේ කාණ්‌ඩ කර ඇති ඒකක ගණන ඉක්‌මවා වැයවන ඒකක සඳහා එතැන් සිට ගණනය කිරීමයි. මෙම වැඩිවීම අනුව ඒකකයක්‌ වැඩි වුවත් මුල් ඒකකයේ සිට මිල ඉහළ යනවා.

මෙය ඉතා අසාධාරණ ඉහළ දැමීමක්‌. මෙරට විදුලි පාරිභෝගිකයන් ලක්‍ෂ 8 ක්‌ ඒකක 1-30 දක්‌වා පරිභෝජනය කරන අයයි. ඒකක 31 - 60 දක්‌වා ලක්‍ෂ 13 ක්‌ හා 61 -90 දක්‌වා ලක්‍ෂ 12 ක්‌ පාරිභෝගිකයන් සිටිනවා. ඒ අනුව ඒකක 90 ක්‌ දක්‌වා පාරිභෝගිකයන් ලක්‍ෂ 35 ක්‌ සිටිනවා.

ඒකක 90 ක්‌ පරිභෝජනය කරන පාරිභෝගිකයකු ගෙවිය යුතු විදුලි බිල රුපියල් එක්‌දහස්‌ එකසිය අනූහතයි. නමුත් ඒකක 91 ක්‌ පරිභෝජනය කළහොත් ඔහුට විදුලි බිල ලෙස රුපියල් දෙදහස්‌ තුන්සිය පනස්‌ එකක්‌ ගෙවීමට සිදුවනවා. එක්‌ ඒකකයක්‌ වැඩිවූ පමණින් රුපියල් එක්‌දහස්‌ එකසිය පනස්‌ පහක්‌ ගෙවීමට පාරිභෝගිකයන්ට සිදුවනවා.

ආණ්‌ඩුව මෙලෙස මිල ඉහළ දමන්නේ ඔවුන්ගේ නොහැකියාව, වංචාව, දූෂණය, නාස්‌තිය නිසාම නොවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලෝක බැංකුවේ කොන්දේසි අනුව රජය විදුලි බිල ඉහළ දමනවා.

ආණ්‌ඩුවේ නොහැකියාවේ බර දැරීමට සිදුව ඇත්තේ රටේ ජනතාවටයි. මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්‌ඩලයට උපදෙස්‌ දී තිබුණා රුපියල් බිලියන 40 කින් වියදම් කපා හරින්න කියා. නමුත් ඔවුන් පෞද්ගලික ආයතන හතරකින් රුපියල්a කෝටි 1300 ක්‌ වැය කර විදුලිය මිලදී ගත්තා. කොමිස්‌, වංචාව නිසා මෙම තත්ත්වය ඇතිවෙලා. රටටම විදුලිය දිය හැකියි කිවූ නොරොච්චෝලේ මේ වනවිට දාහතර වතාවක්‌ පමණ අක්‍රිය වී තිබෙනවා.

අවුරුද්දට ණය වී අවුරුදු කෑ ජනතාවට එම ණය ගෙවා ගන්න බැරිව තිබියදී ආණ්‌ඩුව විදුලි බිලත් ඉහළ දමා තිබෙනවා. ආණ්‌ඩුව මෙහෙම කරන්නේ ජනතාවට බිය නැති නිසයි. මෙම තත්ත්වය පරාජය කළ යුතුයි. ආණ්‌ඩුවේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව ජනතාව පාරට බැස අරගල කළ යුතුයි.

මෙම අවස්‌ථාවට ජනතා විමුක්‌ති පෙරමුණේ මධ්‍යම කාරක සභික ලක්‌ෂ්මන් නිපුනආරච්චි මහතාද එක්‌විය.

No comments: