Wednesday, April 17, 2013

ටිපර් රථය පස්‌සට තල්ලු කරද්දී පසුපස සිටි සිඟිති දැරිය යටවී මියයයි





කොහාගේ ගී නාදයත් සමග සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවී ගතවූයේ හෝරා කිහිපයකි. ඒ අවාසනාවන්ත දවස උදා වූයේ අප්‍රේල් 15 වැනි දිනය.

තම පවුලේ ටිපර් රථයෙන් අවුරුදු නෑදැගම් ඇවිත් ආපසු නිවෙස්‌ බලා යාමට පැමිණි අවස්‌ථාවේ ටිපර් රථයේ එන්ජිම පණ ගැන්වීමට නොහැකි වූයෙන් එය පස්‌සට තල්ලු කිරීමේදී ටිපර් රථයේ පසු පස සිටි කුඩා සිඟිති දැරියක්‌ එයටම යටවී මිය යැමේ ශෝකජනක පුවතක්‌ අසන්නට ලැබීමෙන් මුළු ප්‍රදේශයම කම්පාවට මෙන්ම එකම මළ ගෙයක්‌ බවට පත් විය.

මෙසේ මරුමුවට පත් වූයේ අවුරුදු 41/2 ක්‌ වයසැති වලස්‌මුල්ල මැදගම්ගොඩ හැවන්දෙණිය ප්‍රදේශයේ සිය ආච්චි අම්මාගේ රැකවරණයේ හැදුන වැඩුන ගීගනගේ නිමාෂා කෞශල්‍යා නමැති සිඟිති දැරියයි.

සිද්ධිය සිදුවීමත් සමගම දරුවාගේ මව සිහිසුන්ව වලස්‌මුල්ල මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දෙනු දැක ගත හැකිවූ අතර දරුවා හදා වඩා ගත් ආච්චි අම්මා වන එච්. ඒ. නිරෝෂා ජයරත්න යන අය මුළු රෝහලම කම්පාවට පත් කරවමින් හඬා වැළපෙන අයුරු දැකගත හැකිවිය.

දරුවාගේ මව හක්‌මණ නරවැල්පිට උතුර ප්‍රදේශයේ වන අතර, දැනට පදිංචිව සිටින්නේ යහල්මුල්ල ගල්කණුකොරටුව ප්‍රදේශයේය. මෙම දරුවා හැදුන වැඩුනේ මැදගම්ගොඩ හැවන්දෙනියේ ආච්චි අම්මාගේ නිවසේය. 15 වැනි දින දරුවගේ අම්මා සහ තාත්තා සමග ඥාතීන්ද එම නිවසට පැමිණ නිවස ආසන්නයේ රථය නතර කර කවුරුත් පා ගමනින් ගෙදරට ගොස්‌ සියලුම දෙනාම ජයටම විනෝද වී ටිපර් රථය ළඟට පැමිණියේ මියගිය සිඟිති දරුවාද සමගය. ටිපර් රථයට ගොඩ වූ රියෑදුරුට එය පණ ගැන්වීමට නොහැකි වුණේ එන්ජිමේ දෝෂයක්‌ නිසාය. කොහාගේ නාදය ගිලිහී උළමාගේ හඬත් සමග මාරයා පැමිණියේ ඒ සමගය. සියලු දෙනා එක්‌වී කඳු මුදුනේ නතරවී තිබූ ටිපර් රථය ඉස්‌සරහට ගොස්‌ පස්‌සට තල්ලු කිරීමේදී කුඩා සිඟිත්තිය ටිපර් රථයේ පස්‌සෙන් සිටිනවා කිසිවකු දැක නැත. ටිපර් රථය පස්‌සට එනවාත් සමග නිමාෂා දැරිය එයට යටවී තිබිණි. එය දුටු සැනින් දරුවා වලස්‌මුල්ල රෝහලට රැගෙන ගියත් ඇය සදහටම දෙනෙත් පියාගෙන තිබුණේ සියලු දෙනාට වේදනාවක්‌ උරුම කර දෙමිනි.

මේ පිළිබඳ හදිසි මරණ පරීක්‍ෂණය ඒ. ඒ. ඩේවිඩ් මහතා විසින් වලස්‌මුල්ල රෝහලේදී පවත්වනු ලැබූ අතර වලස්‌මුල්ල පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුමිත් ගුණරත්න මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් විසින් පරීක්‍ෂණ සිදුකරන ලදී.
 

No comments: