Saturday, April 20, 2013

Arrack reaction at Gampola....

ගම්පොල මළගෙයක්‌ කළ අරක්‌කු විස

මියගිය නයනා කුමාරි සහ
මියගිය අජිත් නන්ද කුමාර
කොවුල් නදින් කඳුකර බිම පිරී යද්දී එරබදු මලින් ගැවසී ගත් පරිසරය සැමගේ නැවුම් සිතැඟි ඉටු කරමින් සිටියේය.

ගෙයින් ගෙය හමා යන කැවිලි සුවඳ සමඟ බාල මහලු කවුරුත් ඒ අසිරිමත් මංගල්‍යයට සැරසෙමින් සිටියහ.

ගේ දොර චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමට පමණක්‌ නොව ඈත ගම් පියසේ සිටින නෑදැ හිතමිතුරන් හමුවීම් ආදී සියලු සැලසුම් අතරින් අවුරුදු කුමරා පැමිණෙනතුරු ගම්මු බලා සිටියහ.

ඒත් අවුරුදු කුමරා වෙනුවට ගම්මු කවුරුත් ආදරය කළ ගමට සම්පතක්‌ වූ තම දියණිය මෙන්ම ඥතියා ද හිතවතිය ද වූ තරුණ පාසල් ගුරුවරිය වන නයනාගේ දැවී ගිය සිරුර පෙට්‌ටියක බහා සීල් කොට ගමට ගෙන ආවේය.

ගිනිගත් හදවතින් හඬා වැළපෙන ඥතීන් අවුරුදු දා එරබදු ගස දෙස බැලුවේ මේ කුමක්‌ද සිදු වූයේ මුමුණමිනි. කවදත් පිපුණු අවුරුදු එරබදු මල් අතරින් එරබදු අත්තේ එල්ලී සිටියේ නයනා ගේ ස්‌වාමියා වන අජිත් නන්දකුමාරය.

මේ ජීවිත දෙක අතරින් මෙලොව එළිය නොදුටු සිඟිත්තෙක්‌ද මිය ගොස්‌ සිටින බව ගම්මු දැන සිටියේ ඒ නයනා ගැබිනියක්‌ද වන නිසාය.

මේ ජීවිත තුනට වගකිව යුතු වූ මාරයා වී තිබුණ්‌ අපේ සිංහල අලුත් අවුරුද්දට අද නැතිවම බැරි දෙයක්‌ බවට පත්ව ඇති මත්වතුරය.

මේ සිංහල අවුරුද්දෙන් සැමට පාඩමක්‌ කියා දෙන මෙම පුවත කොතෙක්‌ කියවුවද එය නැවත නැවතත් කියවන ලෙස ඉල්ලන්නේ අද සමාජය මත් වතුරින් ගිලී යමින් මෙවැනි සමාජ ෙ€දාන්ත ඇතිවන නිසාය.

නයනා දමයන්ති කුමාරි ගලගොඩ ඉපදුනේ පුස්‌සැල්ලාව, නව කඩදොර ගම්පියසේය. සහෝදර, සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලක තෙවැන්නිය වූ නයනා ඩෙල්ටා ගැමුණුපුර මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියාය.

පියාගේ තේ ඉඩමින් පෝෂණය වූ මේ පවුල අගහිඟයකින් තොරව කාටවත් බරක්‌ නොවී සතුටින් කල දවස ගෙවුවේය.

සියලු ඥතීන් ගම වටා සිටි අතර නයනාගේ මවගේ සහෝදර සහෝදරියන්ද ඒ අසලම විය. නයනාගේ මවගේ සහෝදරියගේ දරුවන් වැඩිපුර කාලය ගත කළේ නයනාගේ නිවසේය.

එයිනුත් අජිත් කුමාර කුඩා කල සිටම නයනාගේ නිවසේ වැඩිපුර කාලය ගත කළ අතර ඔහු පාසල් යැමද බොහෝ විට සිදුවූයේ මෙහි සිටය. මේ අතර සහෝදර සිත් ආදර සිත් බවට පෙරළමින් නයනාත් අජිත් කුමාරත් අතර හොර රහසේ ආදරයක්‌ ගොඩනැගී තිබිණි. එය ඔවුන් වසර ගණනක්‌ පවත්වාගෙන ආ අතර ඒ සිත් වෙන් නොවන තරමට එකතුවී තිබිණි.

මේ අතර අජිත් කුමාර අතරමගදී පාසල් අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තද නයනා පාසල් අධ්‍යාපනය සාර්ථකව හදාරා ගුරු විද්‍යාපීඨයකටද තේරුණාය. එහි අධ්‍යාපන කටයුතු සාර්ථකව හදාරමින් ගුරුවරියක්‌ ලෙස පිටවූ ඇය කොත්මලේ කුඹල්ඔළුව මහා විද්‍යාලයේ තොරතුරු තාක්‌ෂණ හා ඉංග්‍රීසි ගුරුවරියක්‌ ලෙස කටයුතු කළාය.

මේ අතර අජිත් කුමාර ද නයාපාන ජනපදයේ නුගවෙල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක්‌ හයර් කරමින් ජීවිතය ගෙන ගියේය. නයනා ද වසර දෙකකට වැඩි කලක්‌ ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියාය. ඔවුන්ගේ ආදර සම්බන්ධයට මේ කරුණු බලපෑවේ නැත.

අවසානයේ ඔවුහු තීරණයක්‌ ගත්හ. ඒ අනුව වැඩිහිටි විරෝධය මැද මීට මාස 9 කට පෙර දෙදෙනාම නුගවෙල ප්‍රදේශයේ මහවැලි නිවාසයක්‌ කුලියට ගෙන එහි පදිංචි වූහ.

කුලියට සිටි මොවුන් නයනාගේ නමින් රුපියල් ලක්‍ෂ 5 ක බැංකු ණයක්‌ රැගෙන ඒ ගම්පියසේම නිවසක්‌ ද ගොඩනැගුවේ තම කුස තුළ මෝරා වැඩෙමින් සිටින සිඟිත්තාගේ අනාගතය ගැන සිතමිනි.

නිවසේ සියලු වැඩ නිම කොට ලබන මස එම නිවසට ගෙවදීමටද සිටි මොවුහු මෙවර අලුත් අවුරුද්දට ද සූදානම් වූහ. තමා හිතුවක්‌කාරකම් කළ මවුපියන් බැලීමට යමුයි තීරණය කොට ඔවුන්ට අලුත් ඇඳුම් ගැනීම සඳහා ගම්පොල නගරයට මේ දෙදෙනා ඔවුන්ගේ ත්‍රිරෝද රථයෙන්ම ගියෝය.

මෙලෙස අඬදබර වලින් තොරව සමගියෙන් ජීවත් වුවද නයනාගේ සිතේ තම සැමියා පිළිබඳව තදබල කලකිරීමක්‌ ඇතිව තිබිණි. ඒ, මේ මෑතක සිට අජිත් කුමාර දිනපතාම මත්පැන් භාවිතයට ඇබ්බැහිවී සිටීමය.

ගමේම ඇති සුරාසල අසල ත්‍රිරෝද රථය නවතා ගෙන සිටින අජිත් මේ බීමත්කමට ඇබ්බැහිවී සිටීම නයනාගේ වෘත්තීය ගුරු දිවියට ද කැළලක්‌ බව ඇය සිතන්නට ඇත. මේ නිසා ඇය නිතරම එය නවතා දමන ලෙස අජිත්ට කීවත් එය ඉටුවන බවක්‌ පෙනෙන්නට නොවීය. අවුරුද්දත් සමග මේ බීමත්කම වැඩිවන බව දන්නා නයනා අජිත්ට නීති රීති දැම්මද එය නිෂ්ඵල විය.

ගම්පොල නගරයට ගිය මොවුන් ඇඳුම් පැළඳුම් රැගෙන කුලී නිවසට පැමිණියේ සවස්‌ වෙලාය. නිවසට පැමිණි අජිත් නැවතත් ගමේ හන්දිය දෙසට යැමට සූදානම් විය. හෙට අවුරුදු දවස අම්මලා බලන්න යන්නත් තියෙනවා. දැන් ගිහිල්ලා ආයෙ රෑ වෙලා එන්නේ බීලා. ඒ නිසා ඔය ගමන යන්න එපා. නයනා කීවාය. ඒත් අජිත් නිවසින් පිටත් වුණේ රෑ කෑමට මොනවාහරි ගේන්නම් කියාය. රාත්‍රී 9.30 ට පමණ අජිත් ත්‍රිරෝද රථයෙන් නිවසට ආවේ සුපුරුදු ඉරියව්වෙනි. ත්‍රිරෝද රථයේ හඬ ඇසුණු නයනා නිවසේ දොර විවර කළාය. නිවසේ බලු පැටියා සුරතල් කළ අජිත් නාන කාමරයට ගොස්‌ දැත් සෝදන විට මම පිච්චෙනවා යෑයි නයනාගේ හඬ අජිත්ට ඇසුණේය. අජිත් සාලෙට එන විට නයනා ගිනි ජාලාවකින් වෙළිලාය. ඔහු ඇය බදාගත්තේ මේ මොනවද කරගත්තේ පවසමිනි. නයනා ගිනි ජාලාව මැදින්ම නාන කාමරයට ගොස්‌ ඇඟට වතුර හලාගත්තාය.

සැමියාගේ බීමත්කම ඉවත් කිරීමට සිතා ඔහු බිය කිරීමට නයනා ගිනි තියාගත්තාට, සිතුවාට වඩා වැඩේ භයානක වී ඇත. ඇය කෑ ගසමින් දිය නාන විට අසල නිවසේ යුවළ ද පැමිණ නයනා රෝහල්ගත කිරීමට රැගෙන යැමට උත්සාහ කළහ. එයට විරෝධය පළ කළ අජිත් ඔහුම නයනා ගම්පොල ශික්‍ෂණ රෝහල වෙත රැගෙන ආවේය. නමුත් දින දෙකක්‌ පමණ රෝහලේ ප්‍රතිකාර ලැබූ නයනා සදහටම දෙනෙත් පියා ගත්තාය.

ඇයගේ දේහය රැගෙන ආවේ පුස්‌සැල්ලාව නව කඩදොර මහ ගෙදරටය. අජිත් ද ඇය බැලීමට එහි ගියේය. රැය පහන් වනතුරු එහි ගත කළ අජිත් පසුදා තීරණයක්‌ ගෙන නයනාගේ පියාගේ තේ ඉඩමට ගියේ ලණුවක්‌ද රැගෙනය.

සුරාව නිසා අලුත් අවුරුද්ද විනාශ වූ හැටි අජිත්ට සිතෙන්නට ඇත. අවුරුද්දේ සංකේතය වූ එරබදු මල් පිපී තිබූ එරබදු ගසකට නැඟි අජිත් එහි අත්තක එල්ලුනේ මිය යැමට පෙර හිතවතුන්ට පවසා තිබූ අයුරින් මගේ නයනා ගිය දිහාට මමත් යනවා කී ලෙසිනි.

මේ මරණ දෙක සම්බන්ධයෙන් පුස්‌සැල්ලාව පොලිසිය හා ගම්පොල පොලිසිය පරීක්‍ෂණ පවත්වනු ලැබීය.

පශ්චාත් මරණ පරීක්‍ෂණය පුස්‌සැල්ලාව, වහුගපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එල්. බී. එච්. ජයසිංහ මහතා විසින් හා ගම්පොල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ආර්. එම්. එස්‌. නීලවල මහත්මිය විසින්ද පවත්වා තිබිණි.

මරණ පරීක්‍ෂණය පල්ලේපනේ කෝරළේ හදිසි මරණ පරීක්‍ෂක ඒ. ඩී. ඩබ්. දිඹුල්ගස්‌තැන්න මහතා හා ගම්පොල හදිසි මරණ පරීක්‍ෂක නලින් ඒ. මැදිවක යන මහතා විසින් පවත්වා තිබිණි.

මේ මරණ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ නයනා ගේ පියා වන ආරියරත්න ගලගොඩ මෙසේ පැවසීය. අද සෑම ගම් ප්‍රදේශයකම තියෙන මේ මත් වතුර නිසා ගැමි ජීවිතවලට විශාල හානියක්‌ සිදුවෙලා තියෙනවා. ගමේ එකමුතුකම, සහෝදරත්වය, ඥතීත්වය නැතිවෙලා තියෙනවා. මගේ දුවත් නැතිවෙලා තියෙන්නේ මේ මත් වතුරවල ප්‍රතිඵලයක්‌ නිසා. ඒ නිසා අපි වගකිවයුතු අයගෙන් ඉල්ලා සිටින්නේ මේ උවදුර නැතිකොට ගමේ සාමය, සමගිය ඇති කරන ලෙසයි.

නයනාගේ පාසලේ විදුහල්පති වන මහින්ද පද්මසිරි මහතා මෙසේ පවසයි.

අපේ පාසලේ හිටිය දක්‍ෂ ගුරුවරියක්‌ සමග ජීවිත තුනක්‌ අද නැතිවුණේ මේ මත්වතුර නිසා. ඇගේ වෘත්තීය ජීවිතයට මත්පැන් නොගැලපෙන නිසා මේ තීරණය ගන්න ඇත්තේ සැමියා බය කර හෝ ඔහු මුදා ගන්න කියා හිතාගෙන වෙන්න ඇති. ඒත් සියල්ල වෙනස්‌වී මත් රකුසා අද ජයගෙන තියෙනවා. ඒ නිසා මේ ක්‍රමය වෙනස්‌කොට පැරණි ගැමි දිවිය යළි මේ රටේ ඇති කිරීමට නම් ගම්වල තියෙන සියලු බාර් ඉවත් කරන එක සුදුසුයි කියා තමයි අප හිතන්නේ.

කොත්මලේ ප්‍රාදේශීය සභා සභාපති අජිත් මෙන්ඩිස්‌ මහතාගේ අදහස මෙසේය.

මේ යුවළ පදිංචිවෙලා හිටිය ගමේ තියෙන බාර් එක තමයි මේ හැම ෙ€දවාචකයටම මුල. මේ බාර් එක ගමට එපා කියලා ගම්වාසීන් ගිය මාසේ ලොකු උද්ඝෝෂණයක්‌ කළා. ජනාධිපතිතුමා නුවරඑළිය දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවේදී මේ බාර් එක ගමෙන් ඉවත් කරන්න කියලා උපදෙස්‌ දුන්නා. එහෙත් නිලධාරීන් ඒවා ක්‍රියාත්මක නොකර මේ බාර් එක ගමේ තියාගෙන ඉන්නවා. ඒකේ ප්‍රතිඵලය තමයි අද මේ විදියට ගමට ලැබිලා තියෙන්නේ.

No comments: