Thursday, April 18, 2013

අත්අඩංගුවට ගත් ගම්පහ නගරාධිපති ශරීර සහ මුදල් ඇප මත මුදාහරී



පොලිස්‌a නිලධාරින් දෙදෙනකුට පහරදී බැණ තර්ජනය කරමින් රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ ගම්පහ නගර සභාපති එරංග සේනානායක මහතා ඊයේ (17 වැනිදා) දහවල් ගම්පහ අතිරේක මහෙස්‌ත්‍රාත් නිමල් රණසිංහ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් එක්‌ලක්‍ෂ පනස්‌දහස බැගින් වූ ශරීර ඇප දෙකක්‌ සහ රුපියල් පහළොස්‌ දහසක මුදල් ඇපයක්‌ මත මුදා හරිනු ලැබීය.

 ගම්පහ පොලිසියේ නිලධාරින් දෙදෙනකු පෙරේදා රාත්‍රි (16 දා) 8.30 ට පමණ ගම්පහ යක්‌කල ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටියදී නගර සභාපතිගේ රියෑදුරු ආරක්‍ෂිත හිස්‌ වැස්‌මක්‌ නොමැතිව යතුරු පැදියක්‌ ධාවනය කරමින් ඒ අසල වූ සුපිරි වෙළඳ සැලකට පැමිණ ඇත.

එහිදී පොලිස්‌ නිලධාරින් දෙදෙනා ඔහු අත්අඩංගුවට ගෙන රියෑදුරු බලපත්‍රය ලබා ගෙන ඇති අතර ඒ අවස්‌ථාවේ නගරසභාපතිගේ රියෑදුරු ජංගම දුරකථනයකින් සිද්ධිය නගරාධිපතිවරයාට දැනුම් දී තිබේ.

එම දැනුම් දීමට අනුව දුරකථනය පොලිස්‌ නිලධාරින්ට දෙන ලෙස රියෑදුරුට පවසා ඇති නගර සභාපති පොලිස්‌ නිලධාරින් ඇමතීමට උත්සාහයක්‌ ගෙන ඇතැත් පොලිස්‌ නිලධාරින් දුරකථනයට පිළිතුරු දීම ප්‍රතික්‍ෂෙප කර ඇත.

එම සිද්ධියත් සමග කෝපයට පත්ව ඇති නගර සභාපති තවත් පිරිසක්‌ සමග වාහනයකින් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ ප්‍රකෝපකාරි ලෙස හැසිරෙමින් පොලිස්‌ නිලධාරින්ට පහරදී බැණ තර්ජනය කර ඇතැයි මූලික පරීක්‍ෂණවලදී හෙළිවූ බව ගම්පහ පොලිසියේ උසස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

පොලිස්‌ නිලධාරින්ට පරුෂ වචනයෙන් බැණ වැදීම, බලහත්කාරකම් කිරීම, රාජකාරියට බාධා කිරීම, පහරදීම ඇතුළු චෝදනා පහක්‌ සඳහන් බී. වාර්තාවක්‌ මගින් පොලිසිය නගර සභාපතිවරයා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.

ලබන 22 වැනිදා පැමිණිල්ල යළි අධිකරණය ඉදිරියේ කැඳවන ලෙසද වැඩබලන මහෙස්‌ත්‍රාත් මෙහිදී නියෝග කළේය.

ගම්පහ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක චරිත ජයසුන්දර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂක දයාරත්න කොස්‌තාපල් (22088) චතුරංග යන නිලධාරින් නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ගම්පහ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

No comments: