Wednesday, November 21, 2012

නායකත්ව පුහුණුවට එරෙහිව පේරාදෙණිය සිසුන් ගලහට එයි

                     පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලයීය නවක සිසුන්ට ලබාදෙන නායකත්ව පුහුණුවට විරෝධය පළ කරමින්  ඊයේ (21 වනදා) දහවල් ගලහ හන්දිය අසල සිට උද්ඝෝෂණයක නිරත විය. රජය මගින් මීට පෙර අවස්ථාවල හමුදා කදවුරු වලදී නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දුන් නායකත්ව පුහුණුව නිසා ඇතැමුන් තුවාල ලබා රෝගාතුර තත්ත්වයට පත්වූ බවත් තවත් සමහරුන් පුහුණුවට බියෙන් විශ්ව විද්‍යාල පුවේශය අතහැර දැමූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජනක නිලංග මධුෂාන් ‍ උද්ඝෝෂණයට එක්වෙමින් පැවසීය.
                      නවක සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදීම සදහා රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල සාර්ථක නොවන බව පැවසූ ඔහු මෙවැනි කෙටි කාලීන අසාර්ථක පුහුණුවක් මගින් කිසිසේත්ම නායකත්වය පිළිබද පුහුණුවක් නොලැබෙන බවද පැවසීය. මෙවැනි අසාර්ථක වැඩපිළිවෙල් වෙනුවට අධ්‍යාපනය ශක්තිමත් කිරීමේ දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවද ඔහු පැවසීය.
                       මෙවර අයවැ‍ය මගින් අධ්‍යාපනයට 4.1% මුදලක් වෙන් කළ බව රජය පැවසුවත් එය ඉකුත් වර්ෂයටත් වඩා අඩු මුදලක් බවට පරිවර්ථනය කර ඇතැයි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කළේය. අධ්‍යපනය ශක්තිමක් කරනවා වෙනුවට අද රජය අධ්‍යාපනය විනාශය කරා ගෙන යමින් සිටින බව විරෝධතාකරුවන් මෙහිදී කියා සිටියේය. මෙම අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය පීඨ නමයෙහි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහභාගී වී සිටියහ.

No comments: