Wednesday, November 28, 2012

යාල්දේවි දුම්රියේ ත්‍රිරෝද රිය ගැටී හත් දෙනෙකු මරුමුවට

අද (28) උදේ 9.40 ට පමණ වව්නියාව දක්වා ධාවනය වෙමින් තිබූ යාල්දේවී නගරාන්තර දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රියේ ගමන් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත් වූහ. මෙම අනතුර සිදු වී ඇත්තේ අඹන්පොළ, ගැටව, කිරිමැටියාව දුම්රිය හරස් මාර්ගයේදී ය. මෙම ත්‍රිරෝද රියේ ගමන් කර ඇත්තේ එකම පවුලේ ඥාතීන් පිරිසකි. ඔවුන් බියගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. ත්‍රිරෝද රියේ හිමිකරු වන ආසිරි විජේකෝන් (34) නැමැත්තා එය පදවා ඇත. ඔහු ද බියගම උපන් කිරිමැටි‍යාවේ පදිංචිකරුවෙකි. ආසිරි සහ ඔහුගේ බිරිඳ වන තමාරා මුතු බණ්ඩාරනායක (28) ද මෙම අනතුරින් මියගොස් ති‍බේ. බියගම ඥාතීන් ආසිරිගේ නිවසට පැමිණ සිටියදී ඔවුන් ද කැටුව කිසියම් ගමනක් යද්දී අද උදේ මෙම බිහිසුණු අනතුරු සිදු වී ඇත. මියගිය අය අතරේ මාස 08ක් වයසැති පිරිමි දරුවෙක් සහ අවුරුදු 01ක් වයසැති ගැහැණු දරුවෙකු ද වෙති. තවම හඳුනා නොගත් කාන්තාවන් තිදෙනෙකුගේ සිරුරු ද තිබේ. ත්‍රිවිලරය දුම්රියේ ගැටී මීටර් 300ක් පමණ ඈතට ඇදී ගොස් ඇත. තැලී පොඩි වී ගිය ත්‍රිරෝද රියේ මාස 08 සහ අවුරුදු 01 දරුවන් දෙදෙනා සමග තවත් දෙදෙනෙක් සිර වී සිටිනු ප්‍රදේශවාසීන් දැක තිබේ. එහිදී  ඔවුන් පිටතට ගනිද්දී පිරිමි දරුවා ජීවතුන් අතර සිටිනු බව පෙනී ගොස් ඇත. වහාම එම දරුවා ඇතුළු සෙසු පිරිස අඹන්පොළ රජයේ රෝහල වෙත යවන්නට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත. ත්‍රිරෝද රියේ ගමන්ගත් හත් දෙනාම මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූහ.බරපතල තුවාල ලැබු කාන්තාවක් කුරුණැගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.

No comments: