Sunday, November 25, 2012

තෑගි දිනුම් තිබෙන බව කියා මුදල් ගරන නයිජීරියා ගැටයක්

                             මාධ්‍ය ආයතන ඇතුලු වෙනත් ආයතනවලින් පිරිනැමීමට නියමිත ත්‍යාගයන් සඳහා වන මූලික අයකිරීම් ලෙස මුදල් ලබා ගෙන මහා පරිමාණයේ මුදල් ජාවරමක නිරත වූ බව කියන නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු හලාවත පොලීසියේ අපරාධ විමර්ශණ අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 
                             හලාවත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකුගේ නමට ඇති බැංකු ගිණුම් කීපයකට විශාල ලෙස මුදල් ලැබෙන බවට හලාවත පොලීසියේ නිලධාරියෙකුට තොරතුරක් ලැබී ඇත. ඒ අතර තමන්ට එක්තරා ආයතනයකින් මෝටර් රථයක් දිනුමක් හිමි වී ඇති බවත්, එම මෝටර් රථය ලබා ගැනීම සඳහා කිසියම් මුදල් ප්‍රමාණයක් එක්තරා බැංකු ගිණුමක තැම්පත් කරන ලෙසත් පුද්ගලයෙකුට දුරකථන ඇමතුමක් ලැබී ඇත. ඔහු අදාළ ආයතනයෙන් විමසු විට එවැනි දිනුම් ඇදීමක් නොකළ බව පවසා ඇත. ඒ අනුව මෙම සිද්ධිය පොලීසියට වාර්තා වී ඇත. 
                             විශාල ලෙස තම ගිණුම්වලට මුදල් ගෙන්වා ගන්නා තරුණයා සම්බන්ධයෙන් අවධානයෙන් සිට ඇති පොලීසිය, හලාවත නගරයේ එක්තරා රාජ්‍ය බැංකුවක් අසලදී ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කර ඇත. එහිදී ජාවාරමේ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී ඇත. මෙම ජාවාරමට සම්බන්ධ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු ද ඒ වන විට හලාවත නගරයේ හෝටලයක ලැගුම් ගෙන සිටින බව අත්අඩංගුවට ගෙන සිටින සැකකරු අනාවරණය කර ඇත. ඒ අනුව අත්අඩංගුවට ගෙන සිටින තරුණයා ලවා දුරකතන ඇමතුමක් ලබා දී නයිජීරියානු ජාතිකයින් දෙදෙනා ද හෝටලයෙන් පිටතට ගෙන්වා ගෙන අත්අඩංගුවට ගැනීමට සුදානම් වන විට ඔවුන් පළා ගොස් ඇත. පසුව ප්‍රදේශවාසීන් විසින් පළා යමින් සිටි නයිජීරියානු ජාතිකයින්ව අල්ලා ගෙන පොලීස් නිලධාරීන්ට බාර දී ඇත. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අත්අඩංගුවට ගෙන සිටින හලාවත පදිංචි තරුණයා නමින් රාජ්‍ය සහ පුද්ගලික බැංකු 04 ක විවෘත කර තිබූ බැංකු ගිණුම් පොත්ද, එම ගිණුම්වලට අදාල ඒ.ටී.එම්. කාඩ් පත් 04 ක්ද ඩොලර් 2750 ක්ද, රුපියල් 70,000ක්ද පොලිස් බාරයට ගෙන ඇත. 
                               ඊ මේල් සහ දුරකථන භාවිතා කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් මෙන්ම වෙනත් භාෂාවලින් ද දිවයිනේ විවිධ පුද්ගලයින්ට කථා කරමින් විශාල මුදල් වංචාවක් සිදුකර ඇතත් තමන් වංචාවකට හසුවී ඇති බව බොහෝ පිරිස් නොදන්නා බව පොලීසිය කියයි. අත්අඩංගුවට ගෙන ඇති නයිජීරියානු ජාතිකයින් දෙදෙනා පසුගිය මාසයේ මෙරටට පැමිණ ඇති අතර මෙම මස 12 වැනි දින මෙරට රැඳී සිටීම සඳහා වීසා කාලය දිගු කර ගෙන ඇති බවද මූලික විමර්ශණවලදී හෙලිවී ඇත. එක් නයිජීරියානු ජාතිකයෙකු සතු විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන්ද ගැටළු ඇති බව පොලීසිය කියයි. 
                                හලාවත කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ආර්.ඒ.ඩී.සී.කේ.රණසිංහ, සහකාර පොලිස් අධිකාරී සනත් වීරසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත හලාවත පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක මනෝජ් රණගල මහතාගේ මෙමෙයවීම යටතේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එම්.ඒ. ලක්රුවන්, උප පොලිස් පරීක්ෂක වීරරත්න, පොලිස් සැරයන් ප්‍රේමසිරි, පොලිස් කොස්තාපල්වරුන් වන ලක්ෂමන්,  ජයරත්න යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් තිදෙනා හලාවත දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments: