Friday, November 23, 2012

ලාබාල පෙම්වතුන් දුම්රියට දිවි පුද කළේ කුල ප්‍රශ්ණයකට

අලව්ව, වළකුඹුර ප්‍රදේශයේදී අද (23) උදේ මාතර - නුවර දුම්රියට පැන ලාබාල පෙම්වතුන් යුවළක් දිවිපුදා ඇත්තේ කුල ප්‍රශ්ණයක් මුල්කර ගෙන බව අනාවරණය වෙයි. මෙසේ සියදිවි නසාගෙන ඇත්තේ අලව්ව , ගොරොක්ගස්දෙනියේ පදිංචි වී සිටි 17 වියැති සඳරේණු එදිරිසිංහ සහ අලව්ව, වෙන්නරුවේ පදිංචි 17 වියැති ශාන්ත ප්‍රභාත් ධර්මසිරි නැමැති ලාබාල පෙම්වතුන් යුවළයි. මියගිය සඳරේණු අලව්ව ප්‍රදේශයේ පාසලක උසස් පෙළ සිසුවියකි. මෙම තොරතුරු අනාවරණය වූයේ එම ද්විත්ව මරණ සම්බන්ධයෙන් අද (23) පස්වරුවේ අලව්ව දිසා රෝහලේ දී අලව්ව හදිසි මරණ පරීක්ෂක තිස්ස සමරකෝන් මහතා ඉදිරියේ පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී ය. සඳරේණුලා මීට කලකට පෙර වෙනත් පළාතක පදිංචි වී සිටි අතර පසුව මුළු පවුලම තමන්ගේ මුල්ගම වන ගොරොක්ගස්දෙනියේ පදිංචියට පැමිණ ඇත. සඳරේණුගේ පියාට වාහන කිහිපයක් ද තිබෙන අතර ඒවායෙන් ව්‍යාපාරික කටයුතුවල යෙදීම ඔහුගේ වෘත්තියයි. සඳරේණු සහ ශාන්තගේ ප්‍රේමයට හරස් වූ පුද්ගලයෙක්   ශාන්තට පහර දීමක්ද සිදුකර ඇති බව මරණ පරීක්ෂණයේ දී පැවසින. දෙමව්පියන්ගෙන් මෙම ප්‍රේම සම්බන්ධයට අවසරයක් නොලැබෙනු ඇතැයි තීරණය කළ සඳරේනු සහ ශාන්ත ඊයේ (22) සවස හදිසියෙම සිය නිවෙස්වලින් අතුරුදන් වූහ. ඒ කිසියම් තීරණයකට එළැඹීමෙන් පසුවය. දෙපාර්ශවයෙම දෙමව්පියන් මුළු රෑ පුරා දරු දෙදෙනා සෙවූ නමුත් ඔවුන් යළි හමු වී නැත. අද (23) උදේ අලව්ව පොලිසියෙන් ලැබුණ කැඳවීමක් මත අලව්ව දිසා රෝහලට පැමිණි දෙමව්පියන්ට සිය දරු දෙදෙනාගේ ප්‍රාණය නිරුද්ධ සිරුරු දැක ගන්නට ලැබී ඇත. මෙම මරණ දුම්රියට පැන සිදු කරගත් සිය දිවිනසා ගැනීම් බවට තීරණය විණ.

No comments: