Saturday, November 24, 2012

මේ රටේ විනිසුරුවරුන් නීතිඥයන් මේ වගේ දෙයක් වුණාම ඊට සහය දෙන්න ඕන. -ඇමති එස්.බී දිසානායක

අගවිනිසුරුවරිය තමන්ට එරෙහි චෝදනා විභාග කිරීම සඳහා පත්කර තිබෙන පාර්ලිමේන්තු විශේෂ තේරිම් කාරක සභාවට පැමිණ එම පරීක්‍ෂණයට මුහුණ දීම ඉතා හොඳ තත්ත්වයක් බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පැවැසීය. පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා 8 පැවැති විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් අමාත්‍ය එස්.බී දිසානායක මහතා   අද(23) සවස එසේ සඳහන් කළේය.
අගවිනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කරන්නැයි පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 117 කගේ අත්සන් ඇතිව කථානායකතුමාට ඉදිරිපත්වූ යෝජනාව විභාග කිරීම දැනට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අගවිනිසුරුවරිය අදාල තේරිම් කාරක සභාවට පැමිණ සාම්ප‍්‍රධායක ක‍්‍රමයට දිවුරුම් දීලා ඒ පරීක්‍ෂාවට මුහුණ දුන්නා. මේක ඉතා හොඳ තත්ත්වයක්. අගවිනිසුරුවරයකුට එරෙහිව චෝදනා විභාග කිරීමට තේරීම් කාරක සභාවක් පත් කළ පළමු අවස්ථාව මෙය නෙමෙයි.
සරත් නන්ද සිල්වා අගවිනිසුරුතුමාට එරෙහිව අවස්ථා දෙකකදී මෙය ක‍්‍රියාත්මක කරන්න හැදුවා. ඒත් මේ ආකාරයෙන් මෙය ක‍්‍රියාත්මක වන පළමු වතාව මෙයයි. ඇතැම් අධිකරණ විනිසුරුවන්, නීතිඥයන් මන්ත‍්‍රීවරුන් සම්බන්ධයෙන් නිකුත් කළ ප‍්‍රකාශයන් ඔබ දන්නවා. මේ තත්ත්වය තුළ පාර්ලිමේන්තුවේ තිබෙන පාරිශූද්‍ර්‍ය භාවය ආරක්‍ෂා කර ගැනීමට මන්ත‍්‍රීවරුන් 117 ක් එක්ව කථානායකතුමාට යෝජනාවක් භාරදුන්නා. ඒක බොහොම නීත්‍යානුකූල කාරණයක්. එහි ඇති කරුණු කාරණා අගවිනිසුරුවරියට දන්වලා තිබෙනවා. ඇයත් ඇවිත් ඒ පරීක්‍ෂණ සඳහා සහයෝගය දීලා තිබෙනවා.
අධිකරණ ක‍්‍රියාවලියක් සම්බන්ධයෙන් කරුණු කතා වනවිට කථානායකතුමා මන්ත‍්‍රීවරුන්ගේ එම කතා නවත්වන්නල ඒවායේ කරුණු හැන්සාඞ් වාර්තාවලින් ඉවත් කරන්න පවා කටයුතු කළා. මේ රටේ විනිසුරුවරුන් නීතිඥයන් මේවගේ දෙයක් වුණාම ඊට සහය දෙන්න  ඕන. ඒත් එහෙම වුණේ නැහැ. පෙලපාලි ගියා. විශාල ප‍්‍රචාරයන් ලබා දුන්නා. ඒ නිසාම මේ පැමිණිල්ල කළ මන්ත‍්‍රීවරුන් දැන් ඉල්ලනවා අපටත් මේ ගැන කියන්න අවස්ථාව දෙන්න කියලා. ඔවුන් කියනවා මාධ්‍යට මේ ගැන කියන්න ඉඩ දෙන්න කියලා. ඒත් අපි නිහඬව හිටියා. අගවිනිසුරුවරියට තමන් වෙනුවෙන් කරුණු කියන්න අවස්ථාව සළසා දීලා යුක්තිය සාධාරණය ඉටුකරමින් මෙය ඉක්මනින් අවසන් කරලා, අධිකරණයේ ස්වාධීනත්වය රැක දෙන්න රජය කටයුතු කරනවා. ඊට විනිසුරුවරුන්ට නීතිඥයන්ට අවශ්‍ය සහය දෙන්නැයි ඉල්ලනවා.

No comments: