Friday, November 23, 2012

විදුලි සේවකයෝ 5 වනදා ලෙඩ වෙති…………

දෙසැම්බර් මස 05 වෙනිදා සිට විදුලි බල මණ්ඩලයේ ප්‍රබල පෙළේ වෘත්තීය සමිති 28ක සාමාජිකයෝ ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට ඊයේ (22 වනදා) තීන්දුවක් ගෙන ඇත.
විදුලි සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත් නොකිරීම, සේවක පළිගැනීම් ඇතුළු තවත් කරුණු ගණනාවක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ පළමුවැන්න දකුණු පළාතේ සමස්ත විදුලි සේවකයෝ එක්ව ආරම්භ කරන බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් මහතා කීය.
ලංකා විදුලි සේවක සංගමය ලංවීම ජාතික සේවක සංගමය, ලංවීම තාක්ෂණ ඉංජිනේරු හා අධිකාරි සංගමය, ලංවීම පාලන මැදිරි ක්‍රියාකරුවන්ගේ සංගමය ඇතුළු ප්‍රබල පෙළේ වෘත්තීය සමිති 28ක් මෙයට එක්ව සිටින බව ද ඒ මහතා කීය. ඒ අනුව දෙසැම්බර් 05 වෙනිදා දකුණු පළාත, 06 වෙනිදා සබරගමුව ප්‍රදේශයේ සියලු විදුලි සේවකයෝද 07 වැනිදා ඌව පළාත, 10 වැනිදා මධ්‍යම පළාත, 11 වැනිදා නැගෙනහිර අම්පාර, 12 වැනිදා උතුරු මැද, 13 වැනිදා වයඹ යන ප්‍රදේශවල සමස්ත විදුලි සේවකයෝ මෙම ලෙඩ නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එක්වන බවද ඔහු පැවැසීය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් අනතුරුවද ඊට ආණ්ඩුව ඇහුම්කම් නොදෙන්නේ නම් අතිශය තීරණාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සූදානමින් සිටින බවද ඒ පිළිබඳ දින වකවානු පසුව දැනුම් දෙන බවද ඔහු කීය. පසුගිය අගෝස්තු 10-16 දක්වා පැවැති අඛණ්ඩ විදුලි වර්ජනය පැවැත්වීම සඳහා කම්කරු කොමසාරිස්, ලංවීම පාලන අධිකාරිය, වෘත්තීය සමිති පැමිණ ඒකඟතා මත පත් කළ වැටුප් විෂමතා කමිටු වාර්තාවෙන්, විදුලි සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කිසිදු නිර්දේශයක්, එකඟතාවයක් අනුමැතියක් පළ වී නැතැයි ද ඔහු කීය.
මාස තුනක කාලයක් ගෙන එළි දැක්වූ මෙම කමිටු වාර්තාව අවසානයේ පුස්සක් බවට චෝදනා කළ ඒ මහතා එයට එරෙහිව දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට යාමට සියලු විදුලි වෘත්තීය සමිති මෙසේ තීන්දුවකට පැමිණි බවද කීය.

No comments: