Wednesday, November 28, 2012

එජාප මන්ත්‍රීන් 16කට මහ සමුළුව තහනම්

එක්සත් ජාතික පක්ෂයේ ජාතික මහා සම්මේලනයට සහභාගි වීම සඳහා මන්ත්‍රීවරුන් කිහිපදෙනකුට ආරාධනා නොකිරීමට එම පක්ෂය තීරණය කර තිබේ. ඒ අනුව මේ වන විට එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තහනම් කරනු ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුටත්, පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනකුට සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 11 දෙනකුටත්, මේ ජාතික මහා සම්මේලනය සඳහා ආරාධනා නොකිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි  එහි මහ ‍ලේකම් තිස්ස අත්තනායක මහතා පැවැසීය. ඒ මහතා මේ බැව් සඳහන් කළේ කොළඹ (27) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
එමෙන්ම සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට මැර ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින අයට සහ ඒ ඒ මැතිවරණවලදී ආණ්ඩුවේ දේශපාලන වේදිකාවට ගොඩ වූ එක්සත් ජාතික පාක්ෂිකයින්ටද මේ මහා සම්මේලනය සඳහා ආරාධනා නොකරන බවද මහ ‍ලේකම්වරයා පැවැසීය.
නිල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පමණක් පැවැත්වෙන මේ මහා ජාතික සම්මේලනයට සහභාගි වන සියල්ලන් සිය නිල අවසර පත්‍රය පැළැඳ ගෙන සිටිය යුතු අතර එම නිල අවසර පත්‍රය නොමැති කිසිවෙකුට මහා සම්මේලනයට සහභාගිවීමට කිසිසේත් ඉඩ නොතබන බවත්, අදාළ නිල නියෝජිතයින් තහවුරු කර ගැනීම සඳහා විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රමයක්ද යොදා තිබෙන බවත්, තිස්ස අත්තනායක මහතා කීය.

No comments: