Wednesday, April 3, 2013
පාලකයින් සමග කලකිරී සිටින ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක් අප හා එක්වීමට සාකච්ඡා කරනවා - ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා
පාලකයින් සමග කලකිරී සිටින ආණ්ඩුවේ ප්‍රබලයන් පිරිසක්ද ප්රජාතන්ත්රවාදී පක්ෂය හා එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඊයේ (2 වැනිදා) පිට කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැසුවේය.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී පක්ෂය ලියාපදිංචි කළ පසු පැවැති ප්‍රථම මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.
අපි ඉතා දුෂ්කර ව්‍යායාමයක් කරලා අලුත් සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා. අතීතයේදී ප්රජාතන්ත්රවාදයේ සන්ධිස්ථාන ලෙස මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවීමත්, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමත් සැලකිය හැකියි. ඉන්පසු ප්රජාතන්ත්රවාදය සඳහා යන ගමනේ නූතන සන්ධිස්ථානය තමයි අද ප්රජාතන්ත්රවාදී පක්ෂය ජනතාව හමුවට ගෙනයැම. මේ ගමනේදී අපි ජවසම්පන්න ක්‍රියාදාමයන්ට එක්වූවා. ජනාධිපතිවරණ, මහමැතිවරණවලට මුහුණ දුන්නා. සිරගෙවල්වල සිටියා. මර්දනයන්ට හසුව බැට කෑවා. පසුබැසීම්වලට, බිම වැටීම්වලට ලක්වුණා. ඒත් ධෛර්යයෙන් යුතුව ඉදිරියට යැම සාර්ථකව කළා. එහි ප්‍රතිඵලයක් ලෙස අද අපි මෙම සන්ධිස්ථානයට පැමිණ සිටිනවා. ප්රජාතන්ත්රවාදය ස්ථාපිතකර රටට අලුත් සංස්කෘතියක් ඇති කිරීමේ ගමන අද අපි ආරම්භ කරනවා. මේ ගමන දුෂ්කරයි. දරුණු සහ භයානක බාධක හමුවේවි. දැනටමත් අපේ ගමන රටේ දේශපාලනයේ ආන්දොaලනාත්මක තත්ත්වයක් ඇති කරලා. ඒ අභියෝගවලට මුහුණ දෙන්න අපි කැමැතියි. අලුත් මුහුණු, අලුත් ප්‍රතිපත්ති සහ අලුත් සංස්කෘතියක් සමග ඉදිරියට යන බව මම නිහතමානීව කියන්න කැමැතියි. රටේ ජනතාවට මෙවැනි ගමනක අවශ්‍යතාවක් තිබෙනවා. රණවිරුවන්ගේ කැපවීම නිසා තිස් වසරක යුද්ධය ජයගත්තා. ඉන්පසු එම ජයග්‍රහණය තවදුරටත් තහවුරුකර රටවැසියාට සදාකාලික විජයග්රහණයක් ලබාදීමයි අපේ අරමුණ. අපි ඒ යුතුකම ඉටුකරනතුරු ජනතාව බලා සිටිනවා. ඒ සඳහා අපේ ශ්‍රමය, ශක්තිය සහ දහඩිය මහන්සිය කැප කරන්න අපි සූදානම්.
බොරුවට දේශප්‍රේමී හම පොරවාගත් අය රට විනාශ කරමින් ඉන්නවා. රණවිරුවන් බේරාගත් රට දේශපාලකයින් පිරිසක් විනාශ කරමින් සිටිනවා. දරු පරපුරේ අනාගතය අඳුරෙන් අඳුරට යමින් තිබෙනවා. විරැකියාව විසඳීමට රජය සාර්ථක පියවර රැගෙන නෑ. තරුණ අසහනය වැඩිවෙලා. රණවිරුවන් පිටින් ගොඩවෙන්න හැදූ රජය දැන් රට විරුවන් නමින් අලුත් මුසාවක් පටන් අරගෙන ජනතාව මුලාකරනවා. දුප්පත් කාන්තාවන් මැදපෙරදිගට යෑවීම තමයි රජයට විදේශ විනිමය ලබාගත හැකි එකම මාර්ගය වී තිබෙන්නේ. සංචාරක ව්‍යාපාරය මුසාවක්. ඊට වඩා විදේශ විනිමය ප්‍රමාණයක් රටට ලබා දෙන්නේ දුප්පත් කාන්තාවන්.
රටේ ජාතික සමගිය නැති වෙමින් යනවා. රජය ජාතික සමගියට හානිකර ක්‍රියාවන්ට දිරි දෙමින් ආගම්, පුද්ගලයන් අතර සමගිය නැතිකර පහත් දේශපාලන වාසි ලබා ගනිමින් ඉන්නවා. අපි මේ ක්‍රියාවට විරුද්ධයි. සියලුම ජාතීන්ට ජීවත් වීමේ අයිතිය සහ නිදහස ලබාදිය යුතුයි. සියලු ජාතීන් සහ ආගම් රැක ගැනීම අපේ යුතුකමක් වගකීමක් ලෙස සලකනවා.
රටේ ආණ්ඩු මාරු වුණත් දේශපාලන සංස්කෘතියක වෙනසක් දැක්කේ නෑ. හැමදාම රට පිරිහුණා. පැවැති සියලු රජයන් ඊට වගකිව යුතුයි. අලුත් දේශපාලන සංස්කෘතියක් රටට ඕනෑ. අපි බලයට ආ යුත්තේ ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනඟන්නයි. මිලියන හතළිස් පහක ජනතාවක් මේ ආණ්ඩුවට ඡන්දය දුන්නා. ඒත් ඒ අයගෙන් හත්දහසකට අටදහසකට විතරයි සේවයක් සැලසෙන්නේ. ඒ ගැත්තන් හැර අනෙක් ජනතාවට ආණ්ඩුවෙන් ලැබෙන දෙයක් නෑ. අපි සේවය කළ යුත්තේ අපි ළඟ ඉන්නා අයට සහ අනුගාමිකයන්ට පමණක් නොවේ.
ආණ්ඩුව රණවිරුවන්ට කෙළෙහිගුණ දැක්වූයේ නෑ. ඔවුන් රට බේරාගත්තා. ඒත් ඒ ගෞරවය දේශපාලකයින් විසින් ලබා ගනිමින් සිටිනවා. කලකිරී සිටින රණවිරුවන් බොහෝමයි. ඔවුන්ට ලැබිය යුතු තැන සහ ගෞරවය කවදා හෝ අපි ලබා දෙනවා. අපි රණවිරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ දූෂිත රජයක් රැක ගැනීම සඳහා ජනතාව පෙළා දමන්න එපා කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාව රැක ගැනීමේ අයිතිය රණවිරුවන් සතුයි. පොලිසියටත් මේ ස්ථාවරය පොදුයි.
අපේ පක්ෂයට ලියාපදිංචිය ලබාදීම ගැන මැතිවරණ කොමසාරිස්ට ප්‍රණාමය පුද කරනවා. මීට කලින් සිටි මැතිවරණ කොමසාරිස්වරයා ආතතියෙන් පෙළුණු නිසා ඔහුට එය කරන්න බැරි වුණා. දැන් ඉන්න මැතිවරණ කොමසාරිස්වරයා රටේ ඉදිරිය උදෙසා යම් පියවරක් තැබුවා. ඉදිරියේදීත් රට වෙනුවෙන් නිර්භීතව, ආණ්ඩුවේ මර්දනයන්ට බියනොවී යුතුකම් ඉටු කරන්න, ප්රජාතන්ත්රවාදය ඉදිරියට ගෙන එන්න මැදිහත් වෙන්න කියලා එතුමාගෙන් ඉල්ලා සිටිනවා.
අපේ මේ පක්ෂය පිළිබඳ සුබපතන අය වගේම කලබල වී සිටින අයත් ඉන්නවා. මානව හිමිකම් කොමිසම අති විශිෂ්ට සේවයක් කළා. එය අගය කරනවා. අපේ පක්ෂය ලියාපදිංචි නොකිරීම මානව හිමිකම් කඩ කිරීමක් බව එම කොමිසම නිර්දේශ කළා. මැතිවරණ කොමසාරිස් එය පිළිගත්තා.
මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් සරත් ෆොන්සේකා මහතා මෙසේ කීය.
මාධ්‍ය(- ඔබ නව සංස්කෘතියක් ගැන සඳහන් කළා. එය පැහැදිලි කළ හැකිද?
ෆොන්සේකා මහතා(- අද තිබෙන දේශපාලන සංස්කෘතිය තමයි තම තමන්ගේ ගැත්තන්ට පමණක් සැලකීම. අපේ ප්‍රතිපත්තිය රටේ සියලු දෙනාට ජාති, ආගම් භේදයකින් තොරව සැලකීමයි විය යුත්තේ. කොටසකට පමණක් ප්රතිලාභ ලැබීම නොවේ.
මාධ්‍ය(- ඔබේ පක්ෂය පිළිගත් අවස්ථාව යුද්ධය ජයගත් දිනයේ ලැබූ සතුට හා සමාන බව ප්‍රකාශ කර තිබුණා ඒ ඇයි?
ෆොන්සේකා මහතා(- මා සතුටට පත්වූ අවස්ථා කිහිපයක් තිබෙනවා. අන්තිමට සතුටු වුණේ යුද්ධය අවසන් කර සතුරා පරාජය කළ දවසේ. ඉන්පසු සතුට ලැබුණේ පක්ෂය ලියාපදිංචි කළ බව දැනුම් දුන් අවස්ථාවේ. ලියාපදිංචි පක්ෂ පසුගිය කාලයේ හැසිරුණු අයුරු.... ක්‍රියා කලාපයන් අප දැක්කා. ඒ විදිහටම ඉදිරියට ගියොත් ජනතාවට හෙටක් නෑ. ඒ ක්‍රමය හැර වෙනත් ක්‍රමයක් නැහැ කියා ජනතාව හිතුවා. ඒ පක්ෂ ඉදිරියට අනුගමනය කරන්නෙත් ඒ පිළිවෙතමයි. අපි අලුත් ක්‍රමයකට රට හැරවිය යුතුයි. එය කළ හැක්කේ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී පක්ෂයට විතරයි.
මාධ්‍ය(- බලය බෙදීම පිළිබඳ ඔබ පක්ෂයේ ස්ථාවරය.
ෆොන්සේකා මහතා(- රටේ හැම දෙනාටම එක හා සමානව ජීවත්වීමේ අයිතිය ලබාදිය යුතුයි. ජාති ආගම් ලෙස නොවේ ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සැලකීම වැදගත්. කොළ කැබැල්ලක් අත්සන් කර බලය දීමෙන් පමණක් සංහිඳියාවක් ඇති වන්නේ නෑ. උතුරු නැගෙනහිර ජනතාවට මෙන්ම රටේ සෙසු ජනතාවටත් යම් කිසි බලය බෙදීමකදී ඒ ගැන හැඟීමක් ඇතිවිය යුතුයි. නැතිනම් ලේ වැගිරීමක් ඇතිවිය හැකිය. රට පුරා ජනතාවට එකට ජීවත්වීමේ මානසිකත්වයක් ඇති කළ යුතුයි. ඉන් පසුව තමයි බලය එහාට මෙහාට කළ යුත්තේ. යුද්ධය නිමා කරන්න අවුරුදු තිහක් ගත වුණා. තවත් අවුරුදු තිහක් ගියත් කමක් නෑ. එකට ජීවත් වීමට හැකි වාතාවරණයක් ගොඩනඟා ගත යුතුයි. එය හදිසියේ කළ හැක්කක් නොවේ.
මාධ්‍ය(- ඉදිරි මැතිවරණවලදී ඔබේ පක්ෂය තනිව මුහුණ දෙනවාද වෙනත් පක්ෂ සමග එක්ව තරග කරනවාද?
ෆොන්සේකා මහතා(- අනිවාර්යයෙන්ම අපි ඉදිරි මැතිවරණවලට යන්නේ ගිනිසිළුව යටතේ. ඒ ගමනේදී අපේ පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්නා ඕනෑම කෙනෙකුට අප සමග එක්විය හැකියි.
මාධ්‍ය(- ඉදිරි මැතිවරණවලට තරග කරනවාද?
ෆොන්සේකා මහතා(- ඔව්. මින් ඉදිරියේදී සියලු මැතිවරණවලට රට පුරා අපි ගිනිසිළුව යටතේ ඉදිරිපත් වෙනවා.
මාධ්‍ය(- "ගිනි සිළුව" තේරා ගන්න හේතුව?
ෆොන්සේකා මහතා(- රටේ ජනතාව ඉන්නේ අඳුරේ. දැවෙන ගිනි දැල්ලෙන් රටටත්, ජනතාවටත් ආලෝකය ලැබෙනවා. දූ දරුවන්ට විඥනය ලබා දෙන්න මේ ලකුණ තෝරා ගත්තා.
මාධ්‍ය(- ජාත්‍යන්තර බලපෑම්වලට මුහුණ දීම කෙසේ කළ යුතුද?
ෆොන්සේකා මහතා(- ජාත්‍යන්තර බලපෑම් එල්ලවී තිබෙන්නේ පාලකයන්ගේ ක්‍රියා කලාපය නිසා. යුද්ධය අවසන්වූ පසුව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා රටට ගෙන්වා ජනාධිපතිවරයා ඔහුට පොරොන්දු දුන්නා. පාලකයාට පත්කළ එල්. එල්. ආර්. සී. කමිටු නිර්දේශ ඉටු කරන බවට පොරොන්දු වුණා. ඉෂ්ට කරන්න බැරිනම් ඇයි ඒ පොරොන්දු දුන්නේ. රටේ පැවැත්මට අහිතකර දේ කරන්න පොරොන්දු වුණා. දැන් ඒවා ඉටුකළ යුතු බවයි ජාත්‍යන්තරය කියන්නේ.
මාධ්‍ය(- එජාපයෙන් කොන්වූ මන්ත්‍රීවරු ඔබේ පක්ෂයට එක්වෙනවද?
ෆොන්සේකා මහතා(- කොන් කළා කියන වචනය මම පාවිච්චි කරන්නේ නෑ. එජාප ක්‍රියා පිළිවෙත අනුමත නොකරන නිසා වෙන්ව ක්‍රියාකරන අය කියා අමතන්නම්. ඔවුන් එක්විය යුත්තේ අපේ ප්‍රතිපත්ති මතයි. ඒ හැර එජාපයේ ප්‍රශ්න තියෙන නිසා අප සමග එකතු වීමෙන් රටටත් ජනතාවටත් වැඩක් වන්නේ නෑ. හිටපු ගමන් අතහැරලා දුවන්නේ නැති නොවැනෙන අය සමග අපි සාකච්ඡා කරනවා.
මාධ්‍ය(- ආණ්ඩු පක්ෂයේ අය.
ෆොන්සේකා මහතා(- ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයින් අප සමග මත හුවමාරුවක සිටිනවා. අපි ශක්තිමත් ගමනක් යද්දී කලකිරී සිටින මේ ප්‍රබලයින් අප සමග එක්වේවි.
මාධ්‍ය(- අර්ජුන රණතුංග, ටිරාන් අලස් ඔබ පක්ෂයේ නෑ නේද?
ෆොන්සේකා මහතා(- ප්‍රතිපත්ති නිසා ඔවුන් ඉවත් වුණා. ඒ සඳහා ඔවුන්ට අයිතිය තියෙනවා. අපේ ප්රතිපත්තීන් ගැන හිතලා එනවා නම් දොර ඇර තිබෙනවා. අපි යන්නේ දුෂ්කර ගමනක්. ධෛර්යය ඇති අයට අප සමග සිටිය හැකියි.
මාධ්‍ය(- ජනතා විමුක්ති පෙරමුණ සමග සම්බන්ධ වෙනවාද?
ෆොන්සේකා මහතා(- සම්බන්ධයක් නෑ. ජවිපෙට න්‍යායක් සහ සම්ප්රදායක් තියෙනවා. එනිසා එකතු වෙනවා කියන එක විය නොහැකි දෙයක්. නමුත් මැතිවරණවලදී පොදු කර්තව්‍යයක් සඳහා එකතුවී වැඩ කරන්න බාධාවක් නෑ. රටට ආදරය කරන අවංක අයත් ජවිපෙ තුළ ඉන්නවා. ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා, උප ලේකම් අනෝමා ෆොන්සේකා මහත්මිය ඇතුළුÊපක්ෂයේ නිලධාරීහුද මෙම ප්රවෘත්ති සාකච්ඡාවට එක්වූහ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment